Friday, August 30, 2013

නිවන් සැප ලැබේවා...! _ (2 කොටස)

කාලෙකට කලිං, ලංකාවෙ හොඳම ස්වභාවික පානීය ජලය තිබුණු ප්‍රදේශයක මිනිස්සුන්ට මේ'දවස් වල සල්ලි දීල වතුර ගන්න සිද්ද වෙලා. ඉතිං ඒ ප්‍රදෙශයේ මහත්මයෙක් තමංගෙ පුද්ගලික මුදලින් ලක්ෂ 12ක් වියදම් කරල, වතුර පිරිසිදු කරන මැෂින් 2ක් ගෙනත් සවිකරල, හැකි'පමණින් ඒ'පැත්තෙ මිනිස්සුන්ට පානීය ජලය නොමිලේ දෙනව කියල නිවුස් එකක් දැක්කා. එය කාර්ය්‍ය ඉතාම අගය කල යුතු දෙයක්. ඒ මහතා එහෙම කරන්නෙ තමන්ගෙ මියගිය පියාට පිං පිණිසලු.

හරකගෙ ඥාතියෙක් මේ ලඟදි මාසයක් තිස්සෙ බේත්'කරල පිලිකාවකින් සුවය ලැබුවා. නම අගට මොනවදෝ ඉංග්‍රිස් අකුරු ගොඩක් ගහ'ගත්ත මහත්තුරු පිරිසක් "තව මාසෙකට වැඩිය ජීවත් වෙන් නෑ, අපිට පුළුවං ට්‍රයි කරන්න විතරයි" කිව්ව මේ රෝගියව, සුව කෙරුවෙ වෙද'මහත්තයෙක්. එතුමා මේ'වෙද්දි පිලිකා රෝගීන් එකසිය'විසි'ගානක් සුව කරලා තියෙනවා. සුව'කරන්න බැරිවුන අයත් ඇති...කොහොම උනත් කිසිම මුදල් අය'කිරීමකින් තොරව එතුමා කරන මේ කාර්ය්‍යට හරකා ගොඩක් ගරු කරනවා.
මේ වෙද'මහත්තය වෙද'මහත්තයෙක් නෙමෙයි. වෙන මොකක් හෝ රස්සාවක් කරගෙන හිටපු කෙනෙක්. නමුත් තමන්ගෙ බිරිඳ පිලිකා රෝගයකින් මියගිය නිසා එතුමියට පිං පිණිස, මෙතුමාට තිබෙන කුමක් හෝ දැනුමක් පදනම් කරගෙනයි මේ'වෙදකම කරගෙන යන්නෙ...

උඩින් කිව්ව සිද්දි 2 වගේ ලංකාවෙ වුන/වෙන සිද්දි ලියනවනං ලක්ෂ'ගානක් ඇති. මේවා මහා පරිමාණෙන්, සුළු පරිමාණෙන්, එහෙමත් නැත්තම් ඇති'හැකි පමණින් තමන්ට'හරි වෙන'කාටහරි පිං පිණිස කරන දේවල්...
ඉතිං සරලවම බැලුවොත් මේ 'පිං' කියන්නෙ, හොඳ වැඩ කියලා අර්ථ දක්වන්න පුළුවං දේවල් කරන්න මිනිස්සුන්ව පොලඹවන පට්ට සංකල්පයක්.

හැබැයි...,
අර මනුස්සයගෙ තාත්ත මැරුණෙ නැත්තං, වතුර පිරිසිදු කරන මැෂින් 2ක් ඒ පලාතට ගෙන්වන එකක් නෑ නේද කියලා හරකට හිතෙනවා...
ඒ'වගේම අර වෙද'මහත්තයගෙ බිරිඳ මිය නොගියා නං, අර සුව'වුනා කිව්ව රෝගීන් අද මිය ගිහිං වෙන්න පුළුවං නේද කියලත් හරකට හිතෙනවා...
ඒ'ගැන තවදුරටත් හිතනවනං, සමහරවිට, ඒ'මහත්තයගෙ බිරිඳ පිලිකාවකින් නැතුව වෙන මොකක්'හරි ලෙඩකින් මියගියා නං, ඒත් අර සුවය ලැබූ පිලිකා රෝගීන්ට මේ'වෙද්දි බඩු පැකට් වෙලා වෙන්න පුළුවං.
පිං කියලා දෙයක් තිබුණෙ නැත්තං, මේ පිං කරන මිනිස්සුන්ගෙන් කී'දෙනෙකුට ඇත්තටම මේ' සත්ගුණවත් දේවල් කරන්න හිතේවිද ??? කියන එක ප්‍රශ්නයක්...

ඉතිං , මේ පිං පිණිස කරන හැම'දෙයක්ම ඉතාම අගය කල'යුතු දේවල් වුනත් ඒක එහෙම්ම'මත් නෙමෙයි...
හරකට නං, බහු'ජාතික සමාගම් ලංකාව වගේ රටවල් වල තියෙන පිච්චියත් පුළුවං හැම ක්‍රමේකින්ම අදිනවා වගේ, නරුම ඩීල් එකක් තමයි - හොඳ'වැඩ/පිං'අතේ වැඩ කියලා මිනිස්සු එක'එක පුණ්‍ය කටයුතු කරලා තමංගෙ අධ්‍යාත්මය ඇතුලට පිං අදින එක...
හැමෝම මේ දේවල් කරන්නෙ, අභිධර්මයේ සිත ගැන හෝ සූත්‍ර දේශනා වල පිං'පව් ගැන හෝ කරන විග්‍රහයන්  මනාව දැනගෙන කියලා හරක හිතන් නෑ. ඒවා දැනගෙනම සියල්ල කල'යුතුයි කියලා හරකා හිතන්නෙත් නෑ.
නමුත් සංකල්පයක් විදිහට හිත'යට නිවන් යන්න අදහසකුත් තියාගෙන සැප වෙනුවෙන් හැමෝම පිං කරනවා...

හරක කිසිම ආගමක් අදහන්නෙ නෑ. ආගමක් අදහන මිනිස්සු තමං කැමති ආගමක් අදහන එකෙත් කිසිම වරදක් නෑ.
නමුත්, අපි හැමෝම තමංගෙ ජීවිතේ හොඳිං ගත'කිරීම සඳහා පිළිපදින/අදහන මොකක් හෝ ආගමකින්, තමන් තුල ජීවත් වෙන මුග්ධ'ආත්මාර්ථකාමී මිනිහව අඳුනගන්න තියෙන ඉඩ වහගෙන ඉන්නවනං..,
මොකද්ද බං මේකෙ තේරුම..... ?

ප.ලි.

* මම මේ ලිපියෙන් කතා කරන්නෙ පොදුවේ වැඩි පිරිස ගැන...
ලිපියේ මුලින් කියන සිද්දි 2ට අදාල දෙන්නගෙ නම් දැම්මෙ නැත්තෙත්, වැඩි'දෙනෙකුට අනුව, මගේ අදහස ඔවුන්ට අගෞරව කිරීමක් විය හැකි නිසා... මටත් එහෙම අරමුණක් නෑ.

* ලිපියට අදාල නොවුනත් පළමු ඡේදයට අදාල පෝස්ට් එකක් ධනංජය අයියා දාල තිබුණා. මෙන්න...


* නිවන් සැප ලැබේවා...! _ (1 කොටස) 


Friday, August 23, 2013

නිවන් සැප ලැබේවා...! _ (1 කොටස)

භානු අයියා ගියා...
ඒ සරල සුන්දර මිනිහ ගැන මොනවහරි කුරු‍ටු ගාන්න ඕන'උනත් , ඔහුගේ සමීපතම මිතුරෙක්(ධනංජය කරුණාරත්න) ලිව්ව ලිපියක් උපුටලා දාන'එක ඊට වඩා ගොඩක් සුදුසුයි කියල හරක හිතුවා...

තමන්ට සමීප කෙනෙක්, හිතවතෙක්, එහෙම නැත්තං මොනයම් විදිහකින් හෝ තමන්ට ලින්ක් එකක් තියෙන කෙනෙක් මියගියාම තමන්ට දැනෙන හැඟීම අපි එක එක විදිහට එලියට දානවා. එහෙම වෙලාවට නිවන් සැප පතන එක, වැඩි පිරිසක් බෞද්ධයො වෙච්ච ලංකාවෙ බොහෝ දෙනෙකුගෙ පුරුද්දක්. සමහර බෞද්ධ නොවන අයත් මියගිය හිතවතා බෞද්ධයෙක් නං, නිවන් සැප පතන හැටි හරක දැකල තියෙනවා. අපි හැමෝම ජීවිතේ ගැන මොන මොන අදහස් දැරුවත්, මත ප්‍රකාෂ කලත් මේවගේ වෙලාවට ඇතිවෙන හැඟීම එක්ක එන ප්‍රතික්‍රියා ඉතාම සාධාරණයි. සමහරු නිවන් සැප පතන්නෙ ඒගැන හරි අදහසකින් නොවුනත් ඒවා අවංකයි.

හරක පොඩි කාලෙ මලගෙදරකදි ආච්චි'අම්මගෙන් ඇහුවා "ඇයි ආච්චි අර බැනර් වල 'ඔබට නිවන් සැප ලැබේවා' කියල තියෙන්නෙ..? මැරුණු කෙනාට ඒක පේන් නෑනෙ" කියලා. එතකොට ආච්චි'අම්ම කිව්ව "පුතේ මැරුණු කෙනාගෙ ආත්මය මල ගෙදර සැරි සරනවා, ඒ දිහා බලං ඉන්නවා. එතකොට එයාට ඒව පේනවා" කියලා. සමහරු මලගෙවල් වල බැනර් දාන්නෙ එවැනි අදහසකුත් ඇතුව බව මිනිස්සු අතරෙ තියෙන සමහර විශ්වාස ගැන හොයල බලද්දි පේනව.
කොහොම උනත් හරකගෙ ජීවන අත්දැකීම් අනුව නං, බැනර් හරි වෙන මොන විදිහකින් හරි මැරුණ කෙනාට නිවන් සැප පතන ගොඩක් අය එහෙම කරන්නෙ, මැරුණ කෙනා ගැන තමං කොච්චර කෙයා කරනවද කියලා හෝ එයා එක්ක තමන්ටත් ලින්ක් එකක් තිබුණු බව හෝ නොමරුණු අයට පෙන්වන්න.

දැං කාලේ නං මෙහෙම අවස්තාවක් ආවම FB එකෙත් පෝස්ට් එකක් හරි කමෙන්ට් එකක් හරි දාල නිවන් සැප පතන එක සාමන්‍ය දෙයක්. හරක කලිනුත් කිව්ව වගේ තමන්ගෙ හිතවතෙක් මියගියාම දැනෙන හැඟීම අපි එක එක විදිහට ප්‍රකාෂ කරනවා, ඒකෙ කිසි වරදක් නෑ.
නමුත් පොඩි මෙව්ව'එකක් තියෙනවා...

අවුරුදු හතලිස් ගානක ජීවිතේ ඇතුලෙ භානු අයිය කරපු, කියපු හෝ කරන්න හිතං හිටපු කිසිම දෙයක් කලේ නිවන් සැප ලබන්න හිතාගෙන කියල නං හරක විශ්වාස කරන් නෑ. භානු අයියව අඳුනන හැමෝම ඒගැන දන්නව. ඉතිං එහෙව් මනුස්සයෙක්ට නිවන් සැප පතන එක මොනතරං අසාධාරණද කියල හරකට හිතෙනව. ඒ අවුල වැඩිපුරම දැනුනෙ භානු අයියගෙ FB පි‍ටුවෙ [page 1 , page 2 (කොටන්න) ] තිබුණු post & comment තොගේ දැක්කම.. අනික, ආයෙ කවදාවත් භානු අයියගෙ ආත්මය ඇවිත් FB එකේ සැරිසරන්නෙත් නෑනෙ.
(ඒ අතරෙ නිවන් සැපෙන් තොරව දාපු පෝස්ට් කීපෙකුත් තිබුණා)

අනේ'මංදා ඉතිං......
කෙනෙකුගෙ ජීවිතේට ආගමික කාරණාවක් මත තීරණයක් දෙන්න පුළුවන්ද කියන එක හරකට ප්‍රශ්නයක්...
කොහොම උනත් ,
මිනිස්සු තමං කැමති ආගමක් අදහන එකේ අවුලක් නෑ. සරලව බැලුවොත් මිනිස්සු එහෙම කරන එකේ මූලිකම අරමුණ තමංගෙ ජීවිතේ හොඳිං ගත කිරීම'නෙ.
හැබැයි, හිතවතෙක් මියගියාම කෙනෙක් දක්වන ප්‍රතිචාරය වගේ සරල දෙයක් ' ගැඹුරට ඇනලයිස් කරං'ගියොත්.., උඩින් අන්ඩර්ලයින් කරපු දේ අනිත්'පැත්ත , ඒ'කියන්නෙ ආගම නිසා තමන්ගෙ ජීවිතේ තමන්ට කොච්චර මිස් වෙලාද කියලා නං තේරුම් ගන්න පුළුවං.

ප.ලි.

* මටත් ආසයි කී දෙනෙකුගෙ පිනෙන් මට නිවන් යන්න පුලුවන්ද කියලා බලන්න. කවදහරි මං මැරිලා දවස් 7කට විතර පස්සේ, විනාඩි 20කට විතර ආපහු ඇවිත් FB ලොග් වෙලා යන්න පුලුවං ක්‍රමයක් දන්නවනං කියපල්ලා....තෑන්ක්ස්.

* නිවන් සැපටම අදාල, වෙන්'කරලා ගන්න පුලුවං තව කාරණා ටිකක් වෙනම ලිපියක්(2 කොටස) විදිහට ලියන්න හිතුවා, මේකෙ දිග වැඩි'වෙන නිසා...මෙතන කොටලා ඒකත් බලන්න.

නිවන් සැප ලැබේවා...! _ (2 කොටස)

Thursday, August 15, 2013

සිංහබාහු නීච වූ පසු දික්තලා රජ'වීම

මාලඹේ රාහුල බාලිකා පාසලේ ළමයි මනමේ නාට්‍ය කරපු නිසා, නාට්‍යයෙ වර්තමාන අයිතිකාරයගෙ නැට්ට ගිනි'අරං කියල සයිබර් අවකාශෙ කීප තැනකම චූටි නිවුස් එකක් තියෙනව දැක්ක. අද හරකගෙ ලිපියට මුල් වෙන්නෙ පහල ලින්ක් එකේ තිබුණු ඒ නිවුස් එක...(කොටන්න)
 හොරණ ශ්‍රීපාලි කැම්පස් එකේ, 2009 බැච් එකේ නාට්‍ය හදාරන කොල්ලො'කෙල්ලො ටික 2011 වසරේ එයාලගෙ final year production එක විදිහට කරල තිබුණෙ අමාලි බොරලුගොඩ විසින් පරිවර්තනය කල ස්පාඤ්ඤ නාට්‍යකරු Federico García Lorca'ගේ 'යෙර්මා' නාට්‍යයේ පිටපතක්. නිෂ්පාදනය කලේ තරිඳු ජයමුතුගේ. මේ'ගොල්ලො නාට්‍ය 2012 ජාතික යෞවන නාට්‍ය උළෙලටත් ඉදිරිපත් කරලා අවසාන වටයටත් තේරුණා. යෞවන නාට්‍ය උළෙලේ ෆයිනල් ෂෝ එකට ලයිට් ඩිසයින් කරන්න බාරගත්තු හරකත් ෂෝ එකට කලිං අන්තිම දවස් පහේ ශ්‍රීපාලි කැම්පස් එකට ගියා රිහසල් වලට. මාස කීපෙක ඉඳං කොල්ලො'කෙල්ලො ටික උදේ 'රෑ වෙනසක් නැතුව අනිත් වැඩ ඔක්කොමත් බැලන්ස් කරගෙන රිහසල් කලේ, කැම්පස් එකේ තිබුණු තද දුඹුරු පාට පොඩි මඩුවක් වගේ චූටි හෝල් එකක.
ළමයිට කැම්පස් එකේ නාට්‍ය ශාලාව දීල නෑ , පාලන අධිකාරියට ලිඛිත පරීක්ෂණ පවත්වන්න නාට්‍ය ශාලාව ඕන'වෙනවලු....
කොහොමහරි ෂෝ එකට කලිං දවසෙ රෑ 8 විතර වෙද්දි කට්ටිය එකිනෙකාට සුභ'පතාගෙන අන්තිම ලාස්ට් ෆයිනල් රිහසල් එක පටංගන්න හදනකොටම ඔන්න ලලිතා සරච්චන්ද්‍ර'ගෙන් නිෂ්පාදක තරිඳු ජයමුතුගේ'ට කෝල් එකක් ආව.

ලලිතා'ත් හරියට ආණ්ඩුව වගේ...නෙ ?
මීට පෙර 'යෙර්මා' නමින් ඇය එම නාට්‍ය නිෂ්පාදනය කර තිබෙන නිසා, එනමින් වෙනත් කෙනෙකුට එම නාට්‍යය නිෂ්පාදනය කල නොහැකි බවත්, කරන්නේ නම් මුලින්ම තමාට ඒ බව දැන්විය යුතු බවත්, හෙට දිනයේ නාට්‍යය පෙන්වනවානම් වෙනත් නමකින් නම් කොට වේදිකාගත කරන ලෙසත්, නොකලහොත් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා බවත් ලලිතා විසින් තරිඳුට ඉතා සුහදව තර්ජනාත්මක ස්වරයෙන් කියා තිබුණා. අවශ්‍ය නම් 'යෙර්මා නොහොත් වඳ ගැහැණිය' ලෙස නම් කර නාට්‍ය පෙන්වන ලෙස තව දුරටත් යෝජනා කල ඈ තමා විසින් මේ ගැන, මේ මොහොතේම ජාතික තරුණ සේවා සභාවත්, නාට්‍ය උළෙලේ විනිශ්ච්‍ය මණ්ඩලයත් අමතා නම වෙනස් කිරීමට අදාල පියවර ගන්නා ලෙස දන්වන බවත් කියා, පසුදින නාට්‍ය බලන්න එන බවත් ප්‍රකාශ කලා.

හරක හැමෝගෙම මූණු වලින් දැක්කෙ, කට්ටියටම බඩු පැකට් වුන ස්වරූපයක්. මේ සිසුන්ට මේ වගේ සිද්දියකදි ප්‍රතිචාර දක්වන විදිහ ගැන ජීවන අත්දකීම් නෑ. ඒ වගේම මෙවැනි තත්වෙකදි නීතිමය කාරණා බලපාන විදිහ දන්නෙත් නෑ. කට්ටියගෙම හිත් හොඳටම අවුල් වෙන්න කලිං, 'මේ වැඩේ ඉවරකරලා ඒ ගැන හිතමු' කියලා තරිඳු රිහසල් එක පටංගත්ත. රිහසල් එක යන අතරෙ 'යෙර්මා නොහොත් වඳ ගැහැණිය' ලෙස නම වෙනස් කරාද කියලා තහවුරු කරගන්න ලලිතා කීපසැරයක්ම කෝල් කලා. මේ අතරෙ ජාතික තරුණ සේව සභාවෙ, නාට්‍ය උළෙල භාර නිලධාරියත් කෝල් කරල නාට්‍යයෙ නම වෙනස් කරන්න කියලා ඉල්ලා සිටියා. ඒ විදිහට එදා රෑ කීපදෙනෙකුගෙන්ම කෝල්ස් ආව. ලලිතා සරච්චන්ද්‍ර කියන්නෙ "ලලිතා මැඩම්" නිසාත් තරිඳු ජයමුතුගේ කියන්නෙ "අර තරිඳු කියන කෙනා" නිසාත් කෝල් කරපු හැමෝම විචාර බුද්ධියකින් තොරව තරිඳුට කිව්වෙ 'නාට්‍යයෙ නම වෙනස් කරන්න, එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ' කියල.

ලලිතාගේ තර්කයට අනුව බලද්දි, García Lorca ආපහු යෙර්මා කරනවනං මිනිහටත් ලලිතා'ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසා මොන මගුලක් උනත් කිසි වෙනසක් නොකර කරපු විදිහටම නාට්‍යය කරනව කියල කතා වෙලා කොල්ලො'කෙල්ලො ටික එදා රෑ විසිරුනා. හැබැයි හැමෝම විසිරුනේ හිත් වල ලොකු ඩවුට් එකකින් බව හරක දැක්කා... පහුවදා උදෙන්ම වෙච්ච සිද්දිය ගැන විනිශ්ච්‍ය මණ්ඩලය ඇතුළු නාට්‍ය උළෙලට අදාල හැමෝම දැනුවත් කරපු අපි, නාට්‍යය පෙන්නන්න කලිං ඕඩියන්ස් එකට, යෙර්මා නාට්‍යය පරිවර්තනයක් ලෙස ලංකාවෙදි නිෂ්පාදනය වුනු පෙර අවස්ථාවන් ගැන කෙටි හැන්දින්වීමක් කරලා නාට්‍යය පෙන්නුව.

එදා නාට්‍යය සාර්ථකව කෙරුනෙ නෑ. හරක අතිනුත් ලයිටිං වලදි මිස්ටේක්ස් කීපයක් උනා. අසාර්ථක වීමට ලලිතා හේතුවක් නෙමෙයි. කොහොම උනත් එදා මොකක් හෝ හේතුවක් නිසා නාට්‍යය පෙන්නුව Bishop's Auditorium එකට ලලිතා ආවෙ නැති නිසා මොකුත් හැපනිං එකක් උනෙත් නෑ...
ලලිතා ඇබ්සන්ට් වීම හැමෝගෙම සතුටට කාරණාවක් උනා...

'Yerma' by Tharindu Jayamuthuge
2006දි, කැළණි කැම්පස් එකේ නාට්‍ය නිෂ්පාදනය කරන Academic Players group එකත් 'යෙර්මා' නාට්‍යය නිෂ්පාදනය කලා. ඒ පිටපතත් අමාලි බොරළුගොඩ'ගෙමයි. (ලලිතා කලේ සුනිල් ආරියරත්න හා මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් පරිවර්තනය කල 'යෙර්මා' පිටපතයි). ලලිතා විසින් Academic Players'ලාටත් 'යෙර්මා' නමින් නාට්‍යය රඟදක්වීමට විරුද්ධව තර්ජණාත්මක පිස්සුවක් නැ‍ටුව... පස්සෙ Academic Players'ලා පෙන්නපු හැම ෂෝ එකක්ම "යෙර්මා නම් ඇය" ලෙස නම වෙනස් කරල පෙන්නන්න සිද්ද උනේ එම තර්ජණාත්මක ඇඬියාවේ ඵලයක් විදිහටයි.
ඒ වගේ තව කීදෙනෙකුට ලලිතා' මෝඩ ජෝක් දාල තියෙනවද , දාන්නට නියමිතද කියල හරක දන්නෙ නෑ....

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ කඩ'ඉම් ලකුණක් සටහන් කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ, සිංහබාහු ඇතුළු බොහෝ නාට්‍ය ප්‍රමාණයක් වර්තමානයේ දී පවත්වගෙන යන්නේ ඔහුගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මියයි. ඒ කාලෙ ඒ නාට්‍ය වල තිබුණු බර'ට සාපෙක්ෂව මේ කාලෙදි බර කොහොම උනත්, එම නාට්‍ය වල ගුණාත්මක බව සහ නාට්‍ය කණ්ඩායමේ විනය ඇතුළු සියල්ල හැකි උපරිමයෙන් පවත්වාගෙන යන්න ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය කැපවී, වෙහෙස වී කටයුතු කරන හැටි හරක දැකලා, අහලා තියෙනව. ඒවගෙම ඒ කාර්යය අගය කොට සලකනව.

කිසියම් කලා නිර්මාණයක් නැවත නිෂ්පාදනය කරද්දි ඊට අදාල'වෙන නීතිමය පැත්තකුත්, සදාචාරාත්මකව කල යුතු දේවලුත් තියෙනව. ඒ කාරණා වල බර, රටින් රටට හා ඒ ඒ රටවල් වල දේශපාලනික, සංස්කෘතික හා සංස්කෘතියට අදාල නීතිමය කරුණු වලට සාපේක්ෂව අඩු වැඩි වෙනව. කලා කෘතියක් ඒ'නමින් ඒ විදිහටම කොපි කරල ඒක මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් එලිදක්වනවා'නං එය බුද්ධිමය දේපල සොරකම් කිරීමක්, වරදක්.
'Yerma' by Academic Palyers

(re-make කරනවා කියන එකෙන් අදහස් වෙන්නෙ මේක නෙමෙයි, ඊට වඩා වෙනස් වෙනම කතා'කලයුතු දෙයක්)
නමුත් Federico García Lorcaගේ 'යෙරමා' නාට්‍යයේ දෙදෙනෙකු විසින් පරිවර්තනය කල පිටපත් දෙකක් නිෂ්පාදනය කරද්දි, එකම නම භාවිත කරනවා'නං, එක් පරිවර්තනයක් නිෂ්පාදනය කරන්නා අනෙක නිෂ්පාදනය කල කෙනාගෙන් අවසර ගත යුතුයි කියල නීතියක් කොහේවත් නෑ... සධාචාරාත්මක රීතියකුත් නෑ...
මනමේ ගැන කිව්වත් මනමේ නාට්‍යට සාපේක්ෂව ඔච්චර තමයි.

ලංකාව හැම අතින්ම වලපල්ලට යමිං තියෙන කාලෙක, මිනිස්සු තව තවත් ගෝත්‍රික වෙමිං තියෙන කාලෙක මනමේ හෝ යෙර්මා ගැන කතා කරන එක මහ චූ වැඩක්...
මං වගේ හරක් ලියන හරක් ලිපි නිසා හරි, කලා නිර්මාණ නැවත නිෂ්පාදනය වී ඇති ආකරය ගැන ලෝක මට්ටමෙන් උදාහරණ ගෙනහැර පෑමෙන් හරි ලලිතා වගේ මෝඩ ගෑණුන්ගෙ යාවත්කාලීන නොවන කුඩා'මොල ශෝධනය කරන්න බෑ. ගිය අවුරුද්දෙ හිරු TV එකේ ගිය වැඩසටහනකින් මනමේ , සිංහබාහු නාට්‍ය වල ගීත විකෘති කොට විකාශය කලා කියල ලලිතා, හිරු TV ආයතනයෙන් ලක්ෂ 300ක වන්දියක් ඉල්ලල නඩු දාල තිබුණ. ඒ පිළිබඳව ඈ සමඟ කල සාකච්ඡාවකදි, අහපු ප්‍රශ්න වලට ඇය ලබා දී ඇති පිලිතුරු දිහා බලද්දි කලා නිර්මාණ, රසවින්දනය සහ ආකල්ප අතින් ලලිතා කොච්චර දුප්පත්ද, ලපටිද, මෝඩද කියල මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව.
නාට්‍ය වලින්ම status හදාගත්තු ලොකු පු‍ටු වල ඉන්න කලා'කාරයො කීපදෙනාට මේ'වගේ විශබීජ වල සැර බාල කරන්න, කරන්න ඕනෙ පෑනකින් පොඩි වචන ස්වල්පයක් ලියන එක හෝ කතා'කරන එක විතරයි.
ඒත් එහෙම නොකරන්නෙ ලලිතා කියන්නෙ 'මැඩම්' කෙනෙක් නිසා වෙන්න ඇති කියලයි හරකට හිතෙන්නෙ...

රාහුල බාලිකාවෙ ළමයි අපහසුතාවට පත්වීම / ලලිතා ඇබ්සන්ට් වීම නිසා අපි ලැබූ සතුට / Academic Players'ලාට නාට්‍යයෙ නම වෙනස් කිරීමට සිදුවීම , කියන සිදුවීම් තුනම නොවිය නුතුව තිබුණු දේවල් කියලා හරකා හිතනව. තේරුම් ගන්න ඕන දේ තමයි අලුත් පරම්පරාවෙ උඹලා'අපි'ත් දැනුම අතින් දුප්පත් බව. තරුණ කමට ලේ කකියන නිසා එක එක ‍රැඩිකල් හේතු මත ගණන් නොගෙන හිටියොත් අපිත් තව කාලෙකට පස්සෙ අහවල් විසබීජෙ වගෙම තමයි. මිස් වෙලා තියෙන දේවල් ටික ටික හරි එකතු'කරගත්තොත් නං ගොඩ...

මාලඹේ රාහුල බාලිකාවෙ මනමේ කරපු ළමයි ටික ආයෙ කවදාවත් ඉස්කෝලෙ ‍රැස්වීමකදිවත්, කතාවක්වත් පවත්තයිද දන් නෑ...
ලලිතාට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
රෝදෙ හොයාගත්තු ආදි මානවයට ජාතක වෙච්ච උං, ඒ රෝදෙ උංට ඕන විදිහට කරකෝල බැලුවෙ නැත්තං, අද අපිට වෙන්නෙ පුක රෝදෙ උඩිං තියාගෙන උඩ බලං ඉන්න හරි, ලිපට දාල ඇවිලෙන හැටි බලං ඉන්න හරි තමයි.
ප.ලි.

* ගුනසේන ගලප්පත්ති මහතා නිෂ්පාදනය කල 'මූදු පුත්තු' නාට්‍යයද 'යෙර්මා' නාට්‍යයේ අනුවර්තණයකි.

* සමාන නම් තියෙන සමාන නිර්මාණ ගැනත් , වෙනස් නම් තියෙන සමාන නිර්මාණ ගැනත් හොයලා බලන්න කැමති අයට කරන්න තියෙන්නෙ google දෙයියන්ගෙං අහන එක විතරයි. re-makings ගැන පොඩි search එකක් දැම්මොත්, ලෝකෙ මිනිස්සු re-makings ඇතුලෙ මොනතරං නිර්මාණාත්මක සහ රසවින්දනාත්මක ඉසව් පුළුල් කරගෙන තියෙනවද කියලත් දැනගන්න පුලුවං.

* මං සිංහල භාෂාව හසුරවන්න දක්ෂයෙක් නොවුනට කෙනෙකුට අපහාස කරන්න ඕනෙනං, ඒකට ඕන කරන සුද්ද සිංහලෙන් කතා කරන විදිහ හොඳට දන්නව. ඉතිං මේක ලිව්වෙ ලලිතා'ට අපහාස කිරීමේ පහත් අරමුණකින් නොවුනත්, ලලිතා ඇන්ටි මේක බලල අපහාස කලා කියල නැට්ට පාගගෙන නඩු දාන්න හිතනවනං...,
ඔන්න කිව්ව, මං ලෑස්තීඊඊඊයී....