Saturday, July 26, 2014

තරුවක් වෙයං සුදේශ්...

තව සතියකින් නිහඬව අමතක වන්නට නියමිත සුදේශ් පීරිස් ක්‍රීඩකයා වෙනුවෙනි..

සුද්දා ලංකාවට ආවේ ය.. ඇවිත් තේ වැවුවේ ය.. තේ වවා නිකං හිටියේ නැත.. වත්ත වටේට සුදු ජාන ටිකක් ද දන් දී ගියේ ය.. අපේ එව්වෝ සුද්දාගේ ජාන ආඩම්බරෙන් බාරගත්තා සේ ම, සුද්දා අපට දී ගිය තවත් බොහෝ දේ ආඩම්බරෙන් බාරගත්තෝ ය.. ඉන් එකකි, ක්‍රිකට්.. අප ක්‍රිකට් ගහන්නේ ක්‍රිකට් ලොකු නිසා නොව, ක්‍රිකට් ගැසීමෙන් වත් අප ලොකු විය යුතු නිසා ය.. ලංකාවෙන් බොහෝ දෙනා ක්‍රිකට් වලට ආදරය කරන්නේ ද වෙන කිසිවක් නිසා නොව, ලෝකයේ ලංකාව කියා එකක් ඇති බව මිනිස්සු ටික දෙනෙක් හෝ දන්නේ මේ ඇබින්දන් සෙල්ලම නිසා බැවිණි.. 
link - http://goo.gl/GcnasU
 ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්දැයි අද පහ වසරේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් ඌ ටක්කෙටම කියනු ඇත්තේ ඒ ක්‍රිකට් කියා ය.. ඒ තරමට අපට ක්‍රිකට් ලොකු ය.. ප්‍රශ්නය ක්‍රිකට් ලොකු කරගැනීම නොවේ.. ක්‍රිකට් නිසා අනෙක්වා පොඩි කර සැළකීම ය.. ක්‍රිකට් වලට අම්මගෙ හැන්දෙනුත්, අනෙක් ක්‍රීඩාවන්ට කුඩම්මාගේ හැන්දෙනුත් බෙදීම ය..

ටික දිනකට පෙර මරියා ෂරාපොවා නම් ලෝක ප්‍රසිද්ධ ටෙනිස් තරුව විසින්, තමා සචින් තෙන්ඩුල්කාර් කියා කෙනෙක් දන්නෙ නැතැයි කියූ විට ඉන්දියන්කාරයින්ට නහුතෙට මළපැන, අම්බානක වයර් ෂෝර්ට් වී, තිස්තුන්දාහට ෂොක් වී අන්තර්ජාලය පුරා විකාර නැටු හැටි අපි ආතල් ඒකෙ බලා සිටියෙමු...
එහෙත් උන්ට හිනාවෙන ගමන් ම අප ඒ හිනාවෙන්නේ අපටම බව අපෙන් කී දෙනෙකුට වැටහුණාද යන්න වෙනම ප්‍රශ්නයකි.. තෙන්ඩුල්කාර් ඉන්දියාව ඇතුළු ටෙස්ට් ක්‍රිකට් ගහන රටවල් දහයකට සහ ජොලියට වගේ සෙල්ලම් කරන තවත් රටවල් පහළවකට ලොකු වුණාට, මරියා ෂරාපොවා සෙල්ලං කරන තලයට ලං වෙන්නට තබා හිතන්නටවත් තෙන්ඩුල්කාර්ට හැකියාවක් නැත.. වැරදිලාවත් ලෝකයේ රගර් සහ ෆුට්බෝල් ගහන රටවල් සේරම ඒ සෙල්ලම නවත්වා ක්‍රිකට් ගහන්නට පටන් ගත්තොත් අපට මොනවා වේවිදැයි මහාචාර්ය නලින් ඩි සිල්වාණෝ වතාවක් දිවයිනට ලියමින් අසා සිටියේ ය.. (ඉඳහිට හෝ මහදුරු නලින්ගෙන් ඔහොම හොඳ කතාවක් ද කියැවෙන්නේ ය..) 
link - http://goo.gl/dlC4FB
ඇත්තටම අපට ක්‍රිකට් ලොකු සෙල්ලමක් වන්නේ, ක්‍රිකට් යනු මහා ලොකු සෙල්ලමක් නිසා නොවේ.. ලෝක පාපන්දු තරගාවලියකට වියදම් කරන මුදලෙන් කාලක්වත් ක්‍රිකට් තරගයකින් සංවිධායකයින්ට ලැබෙන්නේ නැත.. අප පොඩි නිසා අපට ලොකු වුණාට, ක්‍රිකට් යනු ජාත්‍යන්තර තලයේ දී අන්වීක්ෂීය ක්‍රීඩාවකැයි යන සත්‍යය පිළිගන්නට අප තාමත් සූදානම් නැත.. මේ සෙල්ලම අපට පමණක් ආවේණික එකක් නොවේ.. අපේ කලාපයේ බොහෝ රටවලට පොදු එකකි.. ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව වන හොකී ක්‍රීඩාවෙන් රටවල් හැට ගණනක් පරදවා ලෝක තලයේ පදක්කම් ලැබූ ක්‍රීඩා ශූරිය සිය දරුපවුල රකින්නට මහමග සිල්ලර බඩු විකුණන්නේත්, යාන්තං රටවල් දහයක් පරාජය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හමුදා උත්තමාචාර ලැබෙන්නෙත් ඒ නිසා ය..

සුදේශ් පීරිස් මචං.. උඹට බොහෝම ආදරෙන් කියන්නට ඇත්තේ එක දෙයකි.. ඊයේ උඹ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගවලින් බර ඉසිලීමෙන් ලෝකයේ රටවල් 106ක් අතරින් කිලෝග්රෑම් 62 A බර පංතියෙන් රිදී පදක්කම දිනු බව බොහෝ දෙනා දන්නෙ නැත.. කොටින්ම මේ ලියන මං දන්නෙත් නැත.. මට ද ආරංචිය කීවේ මගෙ ඔෆිස් එකේ බුවෙකි.. ඊටත් වැදගත්ම දේ ඕක තව සතියකට එහා කාටවත් මතක තියෙන්නේ ද නැත.. ඒ නිසා 2011 ඇතන්ස් ඔලිම්පික් උළෙලේ දී මීටර් 600 සහ 1200 ලෝකඩ පදක්කම් දෙකක් දිනා, අද ජීවත් වන්නට සල්ලි නැතිකමට මහමග පානිපූරි විකුණන ඉන්දියාවේ සීතා සාහුට හෝ නැතිනම්, 2008 දී ඉලක්කයට විදීමේ ලෝක මට්ටමෙන් රිදී පදක්කම දිනා, ඊට පසු වැස්සට කඩා පාත් වුණු තමාගේ ගේ හදාගන්නට මුදල් නැතිකමට දුන්න විකුණන්නට සිදු වූ නිශා රාණි දත්තා ට සිද්ද වූ දේ උඹට සිද්ද වෙන්නට පෙර, ඉක්මණට උඹත් ස්ටාර් කෙනෙක් වෙයං කියා ය..

අද රාත්‍රියේ සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් අතරට අද රාත්‍රියේ රියල් ස්ටාර් කෙනෙකුද බිහිවනු ඇත.. සියක් දහසක් ජනී ජනයා ඒ දෙස බලා අත්පොළසන් දෙනු ඇත.. එහෙත් ඊයේ ලොවක් දිනු උඹ වෙනුවෙන් අත්පුඩියක් ගහන්නට පහළොස් දෙනෙක් හෝ නොසිටිනු ඇත.. ඒ නිසා ඉක්මණට තරුවක් වන තරමට උඹට ඇඟට ගුණ ය..

ප/ලි. විශේෂ ස්තුතිය ආරංචිය දුන් එකාට (උගේ නම කියනවාට ඌ කැමති නැත..) සහ ආරංචිය තහවුරු කළ දමිත් කේතක හට...


-චමීර දෙද්දුවගේ-
(Saturday , 26/7/2014)
(https://www.facebook.com/cjdrox)


සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

Friday, June 13, 2014

උරුමයක කරුමය

ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1492 වසරේදී ඇමරිකාව සොයාගන්නා විට ලංකාවේ තිබී ඇත්තේ කෝට්ටේ රාජධානිය වන අතර වීර පරාක්‍රමබාහු viii ගේ පාලන කාලය විය. අද වන විට නන් දෙසින් පැමිණි පෘථිවි වාසීන් ගේ එකමුතුවකින් සැදුම් ලත් ඇමරිකාව ලෝකයේ ප්‍රධානම බලවතා වී සිටි. මේ සිංහල අපගේ රටේ උපන් මිනිස්සු බුරුතු පිටින් ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරමින් එහි යාමට පෙරුම් පුරති. හැකි හැම කෙනාම මේ රට හැර යති.
1901 ජනවාරි 1 වෙනිදා ඔස්ට්‍රේලියාව නමැති රාජ්‍ය බිහිවිය. අද වනවිට වසර 100ක් ගතවී තවත් වසර 13 ගෙවී ගොස් ඇත. ලොව නන්දෙසින් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් ගෙන් ඇරඹෙන මේ රාජ්‍යය, අදත් එම ප්‍රතිපත්ති වලම පිහිටා සිටිමින් ලොව සතරදික් භාගයෙන් පැමිණෙන පෘථිවි වාසීනට වාසස්ථාන ලබාදේ. ඔස්ට්‍රේලියාව ආර්ථික ස්ථාවරත්වයක් ඇති ලොව ප්‍රභල රටවල් වලින් එකක් වන අතර ඔස්ට්‍රේලියානු ඩොලරය ලොව ශක්තිමත් මුදල් ඒකක වලින් එකක් ලෙස සැලකේ. වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති මේ සිංහල අපගේ රටේ වැසියන් දිවි පරදුවට තබා බෝට්ටුවල නැගී එහි යන අතර වෘත්තිකයන් තම සුදුසුකමට අනුව රස්සා සොයාගන එහි යති. ඔවුන් කිසි විටකත් මේ සිංහල අපගේ රටයි කියා මෙහි නතර නොවෙති.කොරියාව කම්කරු රස්සා කරන්න එහෙ එන්න කිව්වම ලංකාවේ තරුණ පරපුරම ඒ සඳහා ඉදිරිපත් වෙති. යුරෝපයටත් යන්නේ ද ආයෙත් මේ සිංහල අපගේ රටේ පස් පාගන්නට වත් නොලැබේවා කියා හිතමින්ය.

සැමගේ ඉල්ලීම් ඉතා සරලය. රැකියාවක්, ජිවත් වීමට සුදුසු තැනක්, තම දරුවන්ට අනාගතයක්.
ඒ කියන්නේ ලෝකෙන් උතුම් රටේ මේ කියන කිසිවක් නැහැ කියන එකද?

එහෙම වෙන්නට කුමක් හෝ අවුලක් මේ සිංහල අපගේ රටේ තිබිය යුතුය. එහෙනම් මොකක්ද මේ අවුල. සරලව කියතොත් මේ සිංහල අපගේ රට හරියට වටේට කැටයන් ඇඳපු ඇතුලත සතේ කාසි පිරුන කැටයක් වැනිය. තවත් විදිහකට කියනවා නම් මගුල් ගෙදරක කපන වටේට අයිසින් දාපු ඇතුල රෙජිෆෝම් වලින් හදපු කේක් එකක් වැනිය. මේ රටේ තමන්ට කියා අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට කිසිවෙකුටත් නොහැකිය. අනුන් දෙන තොප්පිය දාගන අපි ජීවත්වෙමු. අපට ඕන දේ කාල බීල අපට ඕන විදිහට ඉන්නට හැමෝම කැමතිය. අද ලංකාවේ දේශප්‍රේමී යැයි කියාගන්න අන්තවාදී ආගමික සංවිධාන සාමාන්‍ය මිනිසාගේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ල කර ඇත. අද විතරක් නොව මුළු ඉතිහාසය පුරාවටම ලංකාවේ මෙවැනි අන්තවාදී ,ජාතිවාදී, ආගම්වාදී සංවිධාන වල බලපෑම සාමාන්‍ය ලාංකිකයන්ගේ මනස තුලට කා වැදී ඔවුන්ව දැඩි පීඩනයකට ලක් කර ඇත. මේ සිංහල අපගේ රටේ මහා ලොකු උරුමය රටවැසියාගේ කරුමය බවට අද පත්වී ඇත. සැනසුම ලඟා කරගැනීමට ඉවහල්වන බුදුදහම පවා විකෘති කොට රටවැසියන් පෙළීමට භාවිතා කරන අවියක් කොට ඇත. කොහේ හෝ ගොස් මානසික නිදහසක් ඇතුව ජීවත්වීමට සුදුසු වාසස්ථානයක් මිනිස්සු සොයා යන්නේ එබැවිනි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිසුන් හොයන්නේ එයයි. රටේ එකිනෙකා අතර එකමුතුව වෙනුවට කෙලගැනිමට අවශ්‍ය පදනම මේ අන්තවාදීන් සාදමින් සිටී .අසල්වැසියාගේ ආගම , ජාතිය , කුලය මත පදනම්ව ආශ්‍රය කලයුතු බවට බලපෑම් කරයි. බොන්න ඕන එකාට බොන්න තිබිය යුතුය. කොටට අඳින්න ඕන ඒකිට ඒකට ඉඩදිය යුතුය. ගස් ගල් අදහන්න කැමතිනම් ඒ සඳහාද නිදහස තිබිය යුතුය. ජාතින් සියගණනක් එක්ව තැනූ ඇමරිකාව , ඔස්ට්‍රේලියාව ලොව බැබලිමටත් මේ සිංහල අපගේ රට පජාත වීමටත් හේතුව දැන් හෙවියයුතුය. ලංකාව බහුජාතික බහු ආගමික රටක් බව, කැමති උනත් අකමැති උනත් තේරුම් ගතයුතු සත්‍යයකි. නමුත් අපි හැම ශ්‍රී ලාංකිකයන් යැයි කටක් හැර කීමට හැකිනම් අපටද ලොව ප්‍රභල ජාතියක් වීමට හැකිවනු ඇත. අද ඇත්තේ සැබවින්ම කුමන්ත්රණය. අපි එදා මෙන්ම අද දවසේත් මේ කුමන්ත්‍රණ වලට හසුවෙමු. මෙවැනි අවජාතක සංවිධාන තිබෙන තුරු මේ රටට අනාගතයක් නැත. තලේබාන් , බෝකා හරාම්, අල් ඛයිඩා , ජෙහාඩ් වැනි අන්තවාදීන් සිටින රටවල් අතරට ලංකාවද නොදුරේදී එක්වනු ඒකාන්තය.


-චාමර ජනරාජ් පීරිස්-
(Friday , 13/6/2014)
(https://www.facebook.com/chamarajm)


සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

විවාහය සඳහා ගණිකාවක් සොයමි.

මේ.., අවුරුදු දෙක'තුනකට කලිං හරක බුකියේ දාපු ස්ටේටස් එකක්.
ඒකත් එක්ක වෙච්චි පොඩි සිද්දියක් ලියන්න හිතුනා.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
විවාහය සඳහා ගණිකාවක් සොයමි.

සමාජය විසින් ඔබව හඳුනාගන්නේ හිගන්නියකගේ සිට එග්සෙකටිව් තනතුරක් දක්වා ඇති කුමන නමකින්'ද ? නැත්නම් ගණිකාවක් නමින්'මද ? ඒ කෙසේ වුවත් කම් නැත. ඔබ ගණිකාවක් නම්, මේ අවස්ථාව ඔබටයි.

ඔබේ ආගම කුමක් වුවත් කම් නැත. කුලය කියා දෙයක් මා දන්නේ'ද නැත. උස/කොට , කළු/සුදු , කෙට්ටු/මහත , කැත/ලස්සන හෝ ඒ අතර තත්වයන් කිසිවක් සලකා නොබැලේ. දැරියක'ද , මැහැල්ලක'ද නොවී ලිංගිකව සක්‍රීය නම් හොඳටෝම ඇතිය.

දේපොළ තිබීම අනවශ්‍යයි. දෑවැදි තබා සත 5ක්'වත් අවශ්‍ය ද නැත. මට නිවසක් හිමි බැවින් විවාහයෙන් පසු එහි වාසය කල හැක. ඊට අකමැති නම් එය විකුණා දමා ඔබත් මමත් කැමති සුදුසු තැනක පදිංචියට යාමට ද කැමැත්තෙමි.

ඔබ, යහන් ගත වූ හෝ යහනකින් තොරව යහන් ගත වූ (හිටගෙන, පේමන්ට්, කඩපිල්, පැදුරු, ටොයිලට්, බාත්'රූම්, ත්‍රීවීල්, ලෑන්ඩ්'කෘසර් ආදිය..) හෝ ආදරය කල හෝ ගනුදෙනුකරුවන්'ගේ හෝ "ගණන" කීයදැයි දැනගැනීමට අවශ්‍ය නැත. සොයා බලන්නේ ද නැත.

විවාහයෙන් පසු ද ඔබේ වෘත්තියේ නියැලීමට අවශ්‍ය නම් ඊට ද කිසිදු බලපෑමක් නැත. කොටින්ම මෙය එකට ජිවත් වෙමින් දුක'සැප බෙදා ගැනීමේ එකඟතාවයක් මිස, විවාහයේ නාමයෙන් සවිඥානිකව හෝ අවිඥානිකව නීති දමා රුචි'අරුචි'කම් තමන්ට අවශ්‍ය පරිදි සීමා කරමින් සහකාරිය පාලනය කරන හෝ ඇය යටතේ පාලනය වීමේ මනස්කාන්ත ඊනියා "විවාහ බැඳීමක්" නොවන බව සලකන්න.
දැන්වීමක් නිසා ඊට "විවාහය" යන වචනය පාවිච්චි කලද, එවැනි "ඩීල්" එකක් නොව ඊට එහා ගිය තේරුම් ගැනීමකින් එක්වීමට කැමති නම් වඩාත් මනාපය.

ඊයේ'පෙරේදා ලබාපු සිකුරු'ගේ සිට අල්ලපු චක්‍රාවාටයේ කේතු දක්වා සියල්ලෝම භ්‍රමණය වන්නේ ඔබ වටා බව දනිමි. එම ග්‍රහයින් මට අදාල නැත. එමෙන්ම, කේන්දර වල සිටින ග්‍රහයන් වටා මම ද භ්‍රමණය නොවෙමි. එබැවින් කේන්දර ද සලකා නොබැලේ.

ඉහත දැක්වූ අදහස් හා කරුණු විවාහයෙන් පසුද දශමයකින්'වත් වෙනස් නොකරමි.

මම අවු.25ක තරුණයෙකි. ප්‍රිය කරන්නේ ස්ත්‍රීන් බැවින් ද ගණිකාවක හා විවාහ වීමට කැමැත්තක් ඇති බැවින් ද ඔබ ගණිකාවක් වීම හොඳටෝම ප්‍රමාණවත්ය. විහිලුවට inbox නොකරන්න.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
හරක මේ දැන්වීම බුකියේ ස්ටේටස් එකක් විදිහට දැම්මෙ, ඒකෙ ඉන්න මිතුරා'ගේ සිට අපතයා දක්වා පිරිස මේ වාගේ දැන්වීමකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියල බලන්න තිබ්බ ආසාවට...
අම්බෝ'ඕඕඕඕ....... ඒකට ලැබුණු කමෙන්ට්ස්, මැසේජස් තොගේ....
සමහරුන්ට හරකව මාරම පොරක් වෙලා තිබුණා. සමහරු "පිස්සු විකාර දාල පොරක් වෙන්න හදන්න එපා" කියල කුණුහරපෙන් බැන්නා. හරකාගේ ජීවිතේට වෙන්න යන හානිය ගැන මිතුරු උපදෙස් වැක්කෙරුනා. තමං හිතෙන් කොහොම එකෙක් උනත්, සමාජෙට පෙන්නගෙන ඉන්න පත්තිනි රාමුව නිසා ගොඩනැගුනු ගර්වයට මේ ස්ටේටස් එක පහරක් වෙච්චි මිතුරෝ කීපදෙනෙක් වගේම මිතුරියෝ රොත්තකුත් මැසේජ් කරමින් වාද කරන්න ගත්තා , තරහා උනා.
නිරුවත වහං ඉන්න පුහු සදාචාර රෙද්ද ඔලුවෙන් ගලව'ගෙන හිතන්න බැරි සමහරු පන්සිල් රකින හැටිත් උගන්නගෙන ආවා.

ඔය ඔක්කොම අතරේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති කෙනෙක්'ගෙන් මැසේජ් එකක් ආවා.
"මගේ වයස 27යි. ඔයාගේ නෝට් එක මං කියෙව්වා. ඔයාගේ පේජ් එක බොරු එකක් නෙමෙයි කියල බලද්දී පේනවා. අරක දැම්මේ ඇත්තටද ? ඇත්ත නං චැට් කරන්න. මේ පේජ් එක බොරු එකක්. ඇත්ත විස්තර පස්සේ කියන්නං. මං ඒ ජාතියේ කෙනෙක්"

හරක දවස් කීපයක් චැට් කරා. ඇත්තටම ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් මේ ස්ටේටස් එක දැකල කතා කරාවි කියල හරක නිකමටවත් හිතුවේ නෑ. නමුත් මේ සිද්ද වෙන්නේ ඒක කියල තව තවත් ඈ සමඟ කතා'බහ කරද්දී තේරෙන්න ගත්තා.
ඈ ඇගේ ඇත්ත තොරතුරු හරකට කිව්වට පස්සේ, ඒ ගැන හොයල බලද්දී ඒවා ඇත්ත.
අපි දිගටම කතා කරා. කෝල් කරා.

මාසයක්'හමාරක් ගත වෙද්දී හරක එක්ක කතා'කරේ ගණිකාවක් නෙමෙයි. තමන්ගේ ජීවිතේට, හැඟීම් වලට පිරිමි හදවතක ඉඩක් ඉල්ලන කාන්තාවක්. ඒ වෙද්දී හරකටත් ඈ'ව මුණගැහිලා කතා කරන්න උවමනාවක් තිබුණා. ඒත්, මුල් දවස් වලදී ඈ කිව්වා වගේ "හරක ගැන හිතෙන දේ පස්සේ කියන්නං" කියපු දවස එනකං බලං හිටියේ.
ඕං.. ඒ දවස ආවා...

"හී හී... ඔයාගේ අර මංගල දැන්වීම නං මරු. ඒක බලපු දවසේ මට හිතුන මෙහෙම පිරිමිත් ඉන්නවද කියල. දැන් නං දන්නවා. මට මේ ජීවිතේ වෙනස් කර ගන්න ඕනේ. ඔයා මනුස්සකන් දන්නවා, හිතන විදිහ හරියට හරි. මං හිතන්නෙත් එහෙම තමා. හැබැයි මට තාම ඔයාව ෂුවර් නෑ හරිද...හී  හී..."

"හරි, එහෙනං හෙට'අනිද්දම දවසක අපි මුණගැහිලම කතා කරමු"

"හා... එහෙනං ඔයා එදාට වෙලාවත් අරං එන්නකෝ. මං ඒකත් බලලම කියන්නං"

"වෙලාව අරං එන්න කියන්නේ...?"

"ඔයාගේ කේන්දරේ කොපියක් අනේ..."


Wednesday, January 1, 2014

"විෂ්" එක මුල් වී සුබ පැතුම යට යාම...!!!

අද දිනය යනු තොරතෝංචියක් නැති ව සුබ පැතුම් ලැබෙන දිනයකි.
උදේ හමුවන එකාගෙන් වෙලාව කීයදැයි ඇසුවද “සේම් ටු යූ“ කියන තරම් අංජබජල් දවසකි....!!
මේ සුබ පැතීමේ සම්ප්‍රදාය කවදා කොහේ ඇතිවිණිදැයි සොයා දැන ගන්නට නැති වුව ද, ඉඳුරාම එය අපට ලැබුණේ නම් අපව ආක්‍රමණය කොට අපගේ හරු බස්සම අතගාගෙන ගිය පරදේශක්කාරයන්ගෙන්'වගනම් ඉර හඳ වගේ විශ්වාස ය.. ඔවුන්ට අලුත් අවුරුද්දකට වඩා තිබුනේ නත්තල ය. මූණට හමුවන එකිනෙකා සිප වැළැඳ නත්තලට සුබ පතන්නට නොහැකි වූ අයට විකල්පයක් ලෙසින් නත්තල් කාඩ් පත් බිහි විය. මුලින් ම මේවා අතින් ඇඳ යැවුණි. පසු ව මුද්‍රණ තාක්ෂණයෙන් ඒවා එළි බසින්නට වූයේ ඊට හොඳ වෙළෙඳ පොලක් තිබෙන වගට ව්‍යාපාරික ඥාණයක් ඇත්තන්ට දැණුනු නිසාය.
Image - http://www.etsy.com/market/get_well
ලංකාවේ නත්තල් කාඩ් සඳහා ද යම් පමණක ඉල්ලුමක් තිබුණද, එය ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නට තරම් ලොකු නොවූයෙන්, අලුත් මාකට් එකක් සොයා ගත යුතු විය. ඊට හොඳ තල්ලුවක් ලැබුනේ හෙන්රි ඕල්කොට් තුමාගේ බෞද්ධ පුනරුද සංකල්පයයි. උන්ට නත්තල්නම් අපි වෙසක් කාඩ් ගසමුයැයි ලංකාවේ දමිළ ව්‍යාපාරිකයන් ඒක රාශී වූයේ මේ සද්ජන චේතනාවෙනි..!! කොළඹ හෙට්ටි වීදියේ මෙහා කොනේ සිට එහා කොනටම එදා සිටියේ රත්තරං බඩු වෙළෙන්දන් නොවේ. සුබපැතුම් වෙළෙන්දන් ය. ඉහළ පෙලේ චිත්‍ර ශිල්පියකුගෙන් හොඳ බෞද්ධ චිත්‍රයක් යොදා, කොළඹ කවියකුගේ කවි සිතිවිල්ලකින් පොහොසත් ව මුලින් එය මාකට් එකට ආවේ ය. පහු පහු වන විට, මේ වෙසක් කාඩ් මළඉලව්වල 'වෙසක්' ඇරෙන්නට අනෙක් හැම මගුලක් ම විය. යුද වාතාවරණයත් සමග කැමප්ලාජ් ඇඳ පන්සල් යන පින්තූර ද ඊට ඇතුළත් විය. පහුවන විට එහි බෞද්ධ මුහුණුවර සහමුලින් ම මැකී ගොස්, ශෘංගාරාත්මක තුට්ටු දෙකේ ආදර වසංගතයක් බවට ම පත් විය.
මේ “බිස්නස්“ එක සමග ම කැළැන්ඩර් ව්‍යාපාරය ද, අලුත් අවුරුදු සුබපැතුම් ව්‍යාපාරය ද අතිශයින් ලාබ දායී ව්‍යාපාරයක් වූ අතර, ඊට මහා පරිමාණයෙන් විදුලි උපකරණ සහ ගෘහ උපකරණ වෙළෙන්දන්ගෙන් ද ඇඳුම් පැළඳුම් කඩ කාරයන්ගෙන් ද, දැවැන්ත තල්ලුවක් ලැබුනේ ය. නොවැම්බර් මාසය ඉවරවෙනවාත් සමග ෂෝරූම් වීදුරු මත කපු පුලුන් අලවා ව්‍යාජ හිම පාරක් ද, තොරම්බොල් අකුරෙන් මැරි ක්‍රිස්මස් ඇන්ඩ් හැපි නිව් ඉයර් යැයි වගන්තියක් ද ගසා, ඊටත් ලොකු අකුරෙන් “සේල් සේල් - මහා සේල්“ යනුවෙන්ද ගසා, නැති ආලවට්ටමක් මපා පෑවේ අප ගැන පතල කරුණාවෙන් නොවන වග ඕනෑම කෙනෙකුට තේරෙනු ඇති.
නත්තල් සීයා හෙවත් ශාන්ත ක්ලෝස් මුණිවරයාගේ සංකේතය වූ, කොළ පැහැති ඇඳුම ද රතු පාට කළේ ලොව දැවැන්ත ම ව්‍යාපාරයක් වන කොකා කෝලා බහුජාතික සමාගමේ උවමනාවට ය..! අද ඒ උතුම් පුද්ගලයා මරා දමා අප ඉදිරියේ පෙනී සිටින්නේ නත්තල් පප්පලා හෙවත් බහු රූ කෝලම් මළ විකාර ය. උන් ද සිල්ලර කඩ කාරයන්ගේ උවමනාවට, මහා පාරේ විගඩම් නටන තරමට බාල, පහත් තත්ත්වයට ඇද දමා ඇත්තේ ය. කොටින් ම සුපර් මාකට්වල බඩු කිරන සහ කවුන්ටරවල ඉන්නා කෙල්ලංගේ හිසටද අර මුණිවරයාගේ තොප්පි කඩ මාල්ලක් එල්ලා දමන්නට තරම් මේ ජඩ ව්‍යාපාරය සැහැසි වී තිබේ.

මීට අවුරුදු ගනනාවකට කළියෙන් මම සියලු රැකියාවන් අතහැර දමා, ස්වාධීන ව්‍යාපාරයක් ආරම්භ කළෙමි. ඡායාරූප ශිල්පයට අමතර ව ග්‍රැෆික් සැලසුම් සහ සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණය ඊට ඇතුළත් විය. මේ ව්‍යාපාරය ගැන දන්නා කියන අයට දැනුම් දීමට මා කළේ ද හැම ජනේරුවකටම, වෙසක් එකකටම සුබ පැතුම්පත් මුද්‍රණය කොට තැපැල් කිරීම ය. එයින් මම විපුල පල ප්‍රෙයා්ජන ලැබුවෙමි. එකල අවුරුද්ද අවසානයේ ලැබෙන සුබ පැතුම් පත් සියල්ල කාර්යාලය පුරා වැල් වැට ගසා එල්ලා ප්‍රදර්ශනය කිරීමෙන් මහත් සන්තෝසයක් ද, ප්‍රමාණය වැඩිනම් පොඩි ගර්වයක් ද ලැබූවෙමි. එකල කැලැන්ඩර් ද තුන් හාරසියයක් ලැබුණු අතර, අඩු තරමින් දිනපොත් විසි තිස් ගණනක් ම ලැබුවෙමි.

දුරකථනයක් ලැබුණු පසු මේ මුද්‍රිත කාඩ් නතර වූ අතර, ඇමතුමකින් සුබ පැතුවෙමි. මා මෙන් ම අනෙක් අයද කළේ එයම ය. ඒ හා සමග ම සුබ පැතුම් ලැබෙන ප්‍රමාණයද, කැලැන්ඩර් ප්‍රමාණයද ක්ෂයවී ගිය අතර, අද පෙබරවාරි මාසයේදී පමණ දිනපොතක් මිල දී ගන්නට තරම් අභාග්‍ය සම්පන්න අවදියකට අවතීර්ණ වී සිටිමි.
ඊටත් පසු ජංගම දුරකතනවලින් කෙටි පණිවිඩ යැවීමේ පහසුකම ලැබුණු පසු, හැම ජනේරුවකට ම සහ සිංහල අවුරුද්දකට ම අලුත් කවියක් ලියා හතර අතේ පා කොට හැරියෙමි. දුරකතන බිල ඉහළ නිසා එය මහා “ලාබයක්“ ද අත් කර දුන්නේ ය..!! අදත් ඒ කවි පොඩිත්තක් ලැබෙන තෙක් බලා සිටින මිතුරු සමූහයක් මට සිටින අතර, ප්‍රමාද වූ විට එය අසා ඉල්ලන අයද තවමත් සිටියි. ..!
පසු ගිය අවුරුදු කිහිපය දෙස ආපසු හැරී බැලීමේදි, ලැබෙන කෙටි පණිවිඩ ප්‍රමාණය ද ක්‍රමයෙන් ක්ෂීණවන බවක් පෙනෙයි. එමෙන් ම ඒ හැම එකකම පාහේ දකින්නට ලැබෙන්නේ ද මීට අවුරුදු තුන හතරකට කළින් වෙන එකෙකු එවූ පණිවිඩයකි. සමහර එව්වායේ පරණ එකාගේ නමද තිබේ...!! ඉංගිරිසියෙන් ඇපල් ය කියා ටයිප් කරන්නට බැරි එකා ෂේක්ස්පියර්ගේ කවි එවනවිට ඇඟේ මාලු නටන්නට පටන් ගිනියි..ඊටත් වඩා අර “සබ්බීදියෝ විරජජන්තූ“ වහන්තරාව සිංග්ලිෂ්වලින් දැක්ක විට ලේ කෝප වී, ඇඟ ගැහෙන්නට පටන් ගනියි...!!

ඊටත් වඩා විහිලුව වන්නේ මේ එවන කෙටි පණිවිඩවලින් 90%කම කිසිදු නමක් ගමක් සඳහන් නොවීම ය...! එවන්නන් වාලේ එවන මේ සුබපැතුම් ඩිලීට් කරන්නට කාලය වැය කරන එක ද මහා අපරාධයකි. එවන් ඒව්වාට “රිප්ලයි“ කරන එක ද මහත් මානසික වධයකි.
දැන් තත්ත්වය තරමක් වෙනස් ය.
දැන් අපේ එකම ගැලවුම් කාරයා වී ඇත්තේ සකර්බර්ග් දිව්‍ය රාජයා ය.. එතුමාට අජරාමර නිවන් සුව අත්වන්නට (සාදු සාදු..!!) මීට කළියෙන් එවන ලද්දාවූ සුබ පැතුම් දැන් වෙන එව්වන්ගේ නම්වලින් දැක බලා ගන්නට තරම් අප මහත් ඵල මහත් ආනිසංස ලබා ඇත්තේ ය...!!! තමන් එවන සුබ පැතුමද තමංගේ නොව අනුන්ගේ ය..!! ඒ මදිවාට ජනේරුවට ද, සිංහල අවුරුද්දට ද, ඉන්දියානු ජාතික දිනයට ද, එන්නේ එකම පෝස්ටයකි..! වෙසක් එකට එය වෙනස් වන්නේ ඉදිච්ච බෝ කොළයක් තිබීම ද, නැවිච්ච ඇඟිල්ල තිබීමද පමණ ය..!! එව්වාට සේම් ටු යූ කිව්වත් කිසිදු පුරස්නයක්, ගනිච්චියක් ද නැත..! මන්ද ඇත්තේ එපමණක් නිසා ය.
එවන් සියලු අබග්ගයන්ගෙන් මිදී, මේ කූට වෙළෙඳ ව්‍යාපාරික අසමජ්ජාතින්ගේ උප සංස්කෘතීන්ගෙන් දුරී භූත වී, හදවතින් ම අනෙකා ව සිප වැළැඳගෙන, සුබ පතන්නට හැකි වාතාවරණයක් උදා වේවායි කියා පතමි..!!
ඒ නිසා මගේ මෙවර අවුරුදු පැතුම වන්නේ මේ “සිස්ටම් එක“ වෙනස් වේවා කියා ය...!


-ඉන්ද්‍රනාථ තේනුවර-
(Wednesday , 1/1/2014)
(https://www.facebook.com/indranathathenuwara)



[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]