Saturday, December 28, 2013

සත් වසරක් ගෙවී ගිහින්...

දැං වෙලාව රෑ 11යි. තව පැයකින් හරකාට විෂේශ දවසක් ඉවර වෙනවා. 2006 දෙසැම්බර් 27 වෙනිදා , ඒ කියන්නෙ හරියටම අදින් වසර 7කට පෙර අද වගේම දවසක කොළඹ ලුම්බිණි රඟහලේ හවස 6.30 සිට කෙටි නාට්‍ය 4ක් වේදිකා ගත වුනා. ඒ.., හරක ජීවිතේ මුලිංම බලපු කෙටි නාට්‍ය හතර. අවුරුදු 7කට පස්සෙ ආපහු හැරිල බලද්දි, එදා හවස් වරුවෙ ගත කරපු ඒ පැය කීපය හරකගෙ ජීවිතේ වැදගත්ම පැය කීපයක් නේද කියල හිතෙනව. ඉතිං ඒ මතකය හරකට ඒත්තු ගැන්නූ කාරණා ටිකක් මෙහෙම සටහන් කරන්න හිතුනා. ලිපිය අදම(27) ඉවර කරන්න නං හරකට බැරිවේවි.

හරක දෙමව්පියංගෙ සල්ලි වලිං සැපට හැදුනු එකෙක්. ඉතිං අහපු, කියවපු, ඉගෙනගත්තු දැනුමෙං ලබපු අත්දැකීම් හැර ප්‍රායෝගික ජීවිතේ ඇතුලෙ හොඳට හෝ නරකට සිද්ද'උනු හැල'හැප්පීම් ඉතාම අඩුයි. සැපට හැදෙන බබාලට සාමන්‍යයෙන් තියෙන, ඊටත් වඩා සැපවත් ජීවිතයක් වෙනුවෙං සියලු දේ කිරීමේ රෝගයක් හරකට තිබුණෙ නෑ. ඉතිං 2006 කියන්නෙ ගෙදර අය, වටපිටාවෙ අය, යාළුවො, නෑයො, සමාජය විසින් හරකා ජීවත් විය යුතු විදිහ හා කලයුතු දේ විදිහට සම්මත කරල තිබුණු දේවල් ඔක්කොටම පයිං ගහල හරකට කැමති දේ හඹාගෙන යමිං හිටපු කාලයක්. පොඩි කාලෙ ඉඳං හරකට රඟපාන්න තිබ්බ ආසාව ඔඩු'දුවන්න ගත්තෙ 2005-2006 වගේ කාලෙ. ඒත් පොඩි කාලෙ ඉඳං කරේ වෙන වෙන වැඩ හින්ද, මේව ගැන හරකට තේරුමක් තිබ්බෙ නෑ. ඉස්කෝලෙදිත් කිසිම කලා කෙරුවාවක් කොරල තිබුණෙ නැති නිසා අළුත් ගමන පටං ගන්නෙ කොහෙන්ද කියලා අදහසක් හිතට ආවෙ නෑ, ඒගැන උපදෙසක්/දැනුමක් ගන්න ඕනෙ කාගෙන්ද කියලා හරක දැනං හිටියෙත් නෑ.
ටෙලිනාට්‍ය වල පොඩි පොඩි කෑලි ඇක්ට් කර කර හිටපු ගෙවල් පැත්තෙ අයියා කෙනෙක්, මේ කාලෙ හරකවත් පොඩි පොඩි ටෙලි කෑලි කීපෙකට සෙට් කරා. ඒත් තුන'හතරකට යද්දිම ඒ'වැඩේ හරකට එපා'උනේ, හරක හොයන දේ මොකද්ද කියල දැනුමක් ඒ'වෙනකොට හරකට නැති'උනත්, ඒක ටෙලි'කෑලි අස්සෙ නං නැති බව දැනුනු නිසා.. අනික, පිටකො‍ටුවෙ පේමන්ට් එකේ බඩු විකුණන මිනිහෙක් මොකක්හරි ජිල්'මාට් එකක් දාල මිනිස්සුංගෙං වැඩිපුර කීයක් හරි කඩා ගන්න එකෙයි , මේ පොඩි පොඩි නළු'නිළි පිස්සො'පිස්සියො ගෙන්නගෙන ටෙලි කෑලි ගොඩ දාගන්න එකෙයි කිසි වෙනසක් නැති බව මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව. ඔය අතරෙ තමා හරක පත්තර වල සැරින්'සැරේට දාන ඩ්‍රාමා ඉවෙන්ට්ස් හොය'හොයා බලන්න ගියේ.

නාට්ටි තියෙන්නෙ හවස උනාට, හරක ඒ'කාලෙ ඒව තියෙන තැං වලට උදේම ගිහිං කැරකි කැරකි වෙන්නෙ මොනවද කියලා බලං ඉන්නව. කිසි'කෙනෙක්ව අඳුරන්නෙ නැති නිසා හරක මේ තැං වලට ගියේ හරකගෙ පොත් රාක්කෙ තියෙන කලාවට සම්බන්ද මොකක්හරි පොතකුත් අතේ තියාගෙන**.. , එතකොට කැම්පස් කොල්ලෙක් කියලා හිතල කවුරුවත් යන්න කියන්නෙ නෑනෙ. උදේ ඉඳං කැරකිල කැරකිලා හොයා'ගන්න ඕප'දූප වලිනුයි, හවසට බලන නාට්ටියෙනුයි හරකට තේරුණා මේක හරි දුප්පත් වැඩක් බව. ඒත් කියන්න නොතේරෙන මොකද්දෝ දෙයක් නිසා හරකට මේ ක්‍රියාවලිය බොහොම තදේට හිතට වැදුනා. මේ වෙද්දි "කෙටි නාට්‍ය" කියන්නෙ මොකද්ද කියලා හරක දැනං හිටියෙ නෑ. ඉස්කෝලෙ 6 වසරෙ ඉද්දි තාත්ත බලන්න එක්කං ගිය නාට්ටි** කීපෙ ඇරෙන්න, මුලිංම හරක දිගු නාට්ටියක් බැලුවෙත් මේ කියන දෙසැ.27 වෙනිදට මාස 2කට විතර කලිං.
24 වෙනිදා පත්තරේ කෙටි නාට්‍ය පැවැත්වෙන බව දාල තිබුණා. ඒක දැකල කිසි දෙයක් හිතාගන්න බැරිඋන හරකා 27 වෙනිදා ලුම්බිණියට ගියේ මේ "කෙටි නාට්‍ය" කියන්නෙ මොනවද කියලා බලාගන්න තිබ්බ උවමනාවටමයි.

( මතකයට බාධාවක් සේ දැනෙන බැවින් මෙතැන් සිට හරක්'ෆැන්ටසිය පැත්තකින් තබා ලියමි. )

මට එදා උදෙන්ම යන්න ලැබුණෙ නෑ, ලුම්බිණියට යද්දි හවස 5යි. හෝල් එක ඉස්සරහ ලොකු ඉඩක් නැති නිසා කොරිඩෝව කෙලවරට වෙලා යන'එන අය කරන දේවල් දිහා මං බලං හිටියා. නාට්ටි බලන්න ඒ'වෙද්දි ඇවිත් හිටියෙ මං විතරයි. හිටපු අනිත් අය ඔක්කොම, නාට්‍ය වලට සම්බන්ද අය සහ උළෙල සංවිධානය කරන අය. දොරවල් වහලා නිසා ඇතුලෙ වෙන්නෙ මොනවද කියලා ගිහිං බලන්න විදිහක් තිබුණෙත් නෑ. 6.15 විතර වෙද්දි නාට්ටි බලන්න ඇවිත් හිටපු 40ක විතර පිරිස හෝල් එක ඇතුලට ගත්තා. මම 5වෙනි පේලියෙ වම්පැත්තෙ කොනේම පු‍ටුවෙ වාඩි'උනා. දොරෙං ඇතුල් වෙද්දිම දැකපු, ස්ටේජ් එකේ දකුණු කෙලවරේ නාට්ටියට ලෑස්ති වෙමිං හිටපු අය කරන්නෙ මොනවද කියලා බලා ගන්න හිතාගෙනයි එතන වාඩි'උනේ. කට්ටිය නාට්ටියෙ මොනවදෝ බඩු'මුට්‍ටු වගයක් ලෑස්ති කරමිං හිටියෙ, ඒත් මං වාඩිඋනා විතරයි, තිරේ වැහුවා.

නාට්ටි පටංගන්න නියමිතව තිබුණෙ 6.30ට උනාට සෙනග මදි නිසාද'කොහෙද පටං ගත්තෙ 7 විතර වෙනකං කල්'ඇරලා. නිවේදකයෙක් ඇවිත් පොඩි එනවුන්ස්මන්ට් එකක් දීලා, මට දිරවන්නෙම නැති පොල් තෙල් පහං වලට ගිනිතියන වැඩේ පටං ගත්තා. ඔය අතරෙ ආරාධිත අමුත්තො පස්'දෙනෙකුත් පෝලිමට ඇවිත්  දෙවෙනි පේලියෙ මැද, වෙං'කරලා තිබුණු පු‍ටු වලිං වාඩි'උනා.(ඒ ආරධිත අමුත්තන් නොව උළෙලේ වින්ශ්චය මණ්ඩලය බව දැනගත්තේ කලකට පසුවයි) 1st බෙල්'එක වැදුනා. තව ටිකකින් ලයිට් ඕෆ් කරන බව ඒ වෙද්දි මං දන්න නිසා පු‍ටුවෙ හරි'බරි ගැහුන නාට්ටිය බලන්න. ලයිට් යන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහ දොරෙං හෙල්මට් දෙකක්ද අතැතිව අප්‍රිකානු සම්භවයක් ඇතැයි කියා මට හිතුනු අඩි 9ක් පමණ උස කාලවර්ණ දේහධාරියෙක් ඇතුල්'උනා.(ඒ, ලුම්බිණියේ කුරුමිණි පු‍ටුවක වාඩි වී සිටි මට ඔහුව පෙනුනු විදිහයි.) ඔහු සමඟ තව අක්ක කෙනෙකුත් ඇවිත් දෙන්න'එක්ක මට එහා පැත්තෙ පු‍ටු දෙකෙන් වාඩි'උනා. වාඩි වෙන ගමං "අයියෝ..නොමිලේ පෙන්නලත් මිනිස්සු එන්'නෑනෙ බලන්න" කියල දේහධාරියට කිව්වෙ අර අක්ක. මට මීටර්'උනේ ඒ වෙලාවෙ.., ඇත්ත නේන්නං..මං ටිකට් ගත්තෙත් නෑනෙ, ගන්න තැනක් තිබුණෙත් නෑනෙ. හෝල්'එකේ ඔක්කොම හිටියෙ 70ක් විතර. රටේ තත්වෙ එක්ක කලාවක් විදිහට, "කෙටි නාට්‍ය" තියෙන්නෙ කොතනද කියලා හිතන්න අර අක්ක කිව්ව දේ ඒ වෙලාවෙ මාව පෙලඹෙව්වා. ඒත් හිතන්න පටං ගත්ත ගමං ලයිට් නිවුනා. 3rd බෙල්'එක වැදුනා.

ඊලඟ පැයයි විනාඩි 45ක විතර කාලය ඇතුලත මං තුෂ්නිම්භූත වෙලා ගියේ "කෙටි නාට්‍ය" කියලා දෙයක් මං මුලිංම දකින මොහොත ඒක නිසා. එදා.., ගැහැණු මනුස්සයා, රාත්‍රිය, යාපනය බලා ගිය කත, ඔයයි මායි තනියම 'යන නම් වලිං කෙටි නාට්ටි 4ක් තිබුණා. ඒවා කෙටි නාට්ටි විදිහට තිබුණෙ මොන වගේ මට්ටමකද කියල කියන්න මට එදා තේරුමක්/දැනුමක් තිබුණෙ නෑ. පොඩි වෙලාවක් ඇතුලතදි නාට්ටි 4ක්, කතා 4ක්, රසවල් ගොඩක්, වෙනස් වෙනස් නළු'නිළියො ගොඩක්, නාට්ටියෙං නාට්ටියට වෙනස් වෙච්චි ලයිට් ගහන විදිහ, හතර විදිහක මියුසික්, නාට්ටි හතර අතරෙදි චූටි විවේක කාල 3ක්, තිරෙත් හතර'පාරක් ඇරියා'වැහුවා... අම්මට'හුඩු..., මේක නං මාරයි. ඔන්න මට එදා ආපු හැඟීම. වෙනද නාට්ටියක් බලල ඒකෙ තියෙන එක'එක චරිත හිතෙං රඟ'පපා ගෙදර ගිය මං එදා ගියේ නස්කර් වෙලා.

නමුත්, ලුම්බිණියෙ ගෙවපු ඒ පැය කීපෙට අවුරුදු 7ක් පිරෙන අද දවසේ මගේ මතකයට එන වැදගත්ම දේ මේ කිසිවක් නෙමෙයි.
  • එදා වින්ශ්චය මණ්ඩලේ හිටපු පස්'දෙනාගෙන් හතර'දෙනෙක්ම පස්සෙ කාලෙක මගේ නාට්‍ය ගුරුවරු වෙන බව මං එදා දැනං හිටියෙ නෑ.
  • එදා මං බලං හිටිය වාගෙම කොරිඩෝවේ එහා කෙලවරේ, තව කෙනෙක් සමඟ කතා කරමින් එහෙ'මෙහෙ බලමින් සිටි පුද්ගලයා පස්සෙ කාලෙක මං එක්ක එකට එකතු වෙලා නාට්‍ය කරන මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙක් වෙන බව එදා මං දැනං හිටියෙ නෑ.
  • හෝල් එකට කට්ටිය දාන්න විනාඩි කීපෙකට කලිං ගිටාරෙකුත් කරේ එල්ලගෙන කොහෙන්දෝ මතුවූ හාදයා කෙල්ලො කීප'දෙනෙක්ට මල් හී කීපෙකුත් විදගෙන ආව වගේම වැනිෂ් උනා. ඔහු ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනක් තවමත් නියම වටිනාකම හඳුනා නොගත් මල්ටි ටැලන්ටඩ් පොරක් බවත්, මං දන්න කියන අය අතරින් ඉතාම සංවේදී කිහිපදෙනාගෙන් කෙනෙක් බවත්, මං එක්ක නාට්‍ය කීපයකම රඟපාන්නට නියමිත මිතුරෙක් බවත් මං එදා දැනං හිටියෙ නෑ.
  • නාට්ටි ඉවර වෙලා කොරිඩෝවට බහිනකොට කලිං කෙනා මල් හී විද්ද තැනම හිටගෙන තවත්'කෙනෙක්, ඉස්සරහට ලියන්න නියමිත නාට්ටියක් ගැන පිරිසකට පොර ටෝක් එකක් දෙමිං හිටියා. ඔහුත් ඉහත පැහැදිලි කිරීම'ම කලහැකි කෙනෙක් බවත්, පස්සෙ කාලෙක එකම නාට්‍ය කණ්ඩායමක මාත් එක්ක නාට්‍ය පෙන්නමිං රට පුරා යන බවත්, එම චාරිකාව පුරාවටම මට, ඔහුගේ කතන්දර වලට අවන්කවම ඇහුම්කන් දෙන එකම පුද්ගලයා බවට පත්වෙන්නට සිදුවෙන බවත් මං එදා දැනං හිටියෙ නෑ.
  • මාව දෙවෙනි වරට රඟපාන්න ගන්නේ, එදා දෙවන කෙටි නාට්‍යයේ නිෂ්පාදකයා බව මං එදා දැනං හිටියෙ නෑ.[ ඒ වැඩේ කෙරුනෙත් නෑ :( ]
  • මං පලමු වරට විදෙස් නාට්‍ය උළෙලක් සඳහා ලංකාව නියෝජනය කරන්නේ, එදා මං ලඟින් වාඩි වූ කාලවර්ණ'දේහධාරියා සමග ඔහු නිෂ්පාදනය කරන නාට්‍යකින් බව මං එදා දැනං හිටියෙ නෑ.
  • මේ වෙනකං රඟපෑම සඳහා මම වැඩිපුරම මනසින් වෙහෙසුනු චරිතය සහිත නාට්‍යයේ මගේ සහයිකාව/යෙහෙලිය/පෙම්වතිය ලෙස රඟපාන්නේ එදා දේහධාරියා සමඟ පැමිණි අක්කා බව මං එදා දැනං හිටියෙ නෑ.
  • එදා තිබුණු කෙටිනාට්‍ය අතරින් "මමත් මේ වගේ නළුවෙක් වෙන්න ඕනෙ" කියල මට හිතුනු, එදින මගේ සිත්'ගත් නළුවා පසු කලෙක රඟපෑ නාට්‍ය කීපයකම, ඔහු රඟපෑ චරිත සඳහා මාව ‍තෝරාගනීවි'යැයි මං එදා දැනං හිටියෙ නෑ. 2007 අවුරුද්දෙ අන්තිම වෙද්දි මං හීන මැව්වෙ "මට එංගලන්තෙ RADA  විශව'විද්‍යාලයේ ඉගෙන ගන්න තියෙනවනං" කියලයි. RADA හි ඉගෙනීමට යාමට තරම් එදා  මගේ සිත්'ගත් නළුවා වාසනාවන්තයෙක් වෙන බව, එදා මං දැනං හිටියෙ නෑ.(මං දන්නා තරමින් RADA'හි මේ වන තුරු ලංකාවෙන් ඉගෙනුම ලබා ඇත්තේ ඔහුත් ඇතුලුව හතර දෙනෙක් පමණි. එහි ඉගෙනීමට වාසනවන්තයෙක් වගේම අනිවාර්යෙන් අති දක්ෂයෙක් විය යුතුමය.)
  • එදා මම ජීවිතේ පලමු වතාවට දකින කෙටි නාට්‍ය නිලිය, මාස කීපෙකට පස්සේ නාට්‍ය පාසලේදී මුණගැහිල, එදා සිට අද දක්වාත් ' හෙටත් මගේ හිත බදු අරං'ඉන්න මගේ අඹ'යෙහෙලිය වෙයි කියලා මං එදා දැනං හිටියෙ නෑ.
  • එදින, දකින විට මොකද්දෝ අවුලක් හිතට දැනුනු පුද්ගලයින් හතර'දෙනාම පස්සෙ කාලෙක වාර හතරකදී මං ආදරය කරන කාන්තාව මගෙන් පැහැරගන්නා බව මං එදා දැනං හිටියෙ නෑ. ඉන්, හතරවැන්නා මට මුණගැහුනෙ නාට්ටි ඉවර වෙලා එද්දි ලුම්බිණිය ඉස්සරහ පාරෙදි. ඔහු මගේ අතින් වැ‍ටුනු රු.10 කොලයක් මාව නවත්තලා හිනාමුසුව මට අහුලලා දුන්නෙ "10ක් හින්දයි උඹට දෙන්නෙ" කියමිනි. ස්තූති කරමින් මං ඒක ගත්තා මිසක්, දිනෙක ඉතාම සූක්ෂමව මගේ ආදරය පැහැරගන්නේ ඔහු බව මං එදා දැනං හිටියෙ නෑ.
මේ ලිව්වෙ පහුගිය අවුරුදු 7 තුල මම කල'කී දේවල් වලිං දශමයක් පමණක් උනාට, කියපු'නොකියපු හැම දෙයින්ම 75%කට'ම විතර සම්බන්ධ විෂේශිත පුද්ගලයෝ, එදා මං ලුම්බිණියේ ගත කරපු පැය කීපය තුලදී දැක්කා/මුණගැහුනා.(ඩොට් දමා විෂේශයෙන් නොකියූ පිරිසක්ද එදා මං දු‍ටු/මුණගැසුනු පිරිස අතර ඉන්නවා. දිග වැඩි වෙන නිසා නොලිව්වෙමි) ඒ වගේම කුමක් හෝ කරුණක් නිසා ඔවුන් මගේ මතකයේ ‍රැඳිලා හිටියා. මගේ පහුගිය අවුරුදු 7 පිළිබඳව එදා, ඒ හැමෝම මට ඉඟි කලා නේද..කියලා දැං මට හිතෙනවා, ඒක කියන්න නොතේරෙන මොකද්දෝ අමුතු සුන්දර හැඟීමක්...
සාමන්‍ය මිනිහෙක් අවුරුදු 7ක් තුල ලබන අත්දැකීම් සහ අවබෝධකරගැනීම් , සංවේදී කලා'කාරයෙක්ට ලබන්න ගතවෙන්නෙ අවුරුද්දයි කියල මං කොහේ'හෝ කියවපු බව මතකයි. හැබැයි පහුගිය අවුරුදු 7, මට අවුරුදු 49ක් වගේ නොදැනෙන්නෙ මං කලා'කාරයෙක් කියන හැඟීම මට නැති නිසා සහ ඇත්තටම මං කලා'කාරයෙක් නොවන නිසා වෙන්න ඇති. කොහොමත් මම, මං කලා'කරයෙක් කියලා හිතන්න කැමතිත් නෑ වගේම මගේ තියරියට අනුව, මට එහෙම හිතෙනවනං ඒකෙ ලොකු අවුලකුත් තියෙනව.

මොනව'උනත් පහුගිය අවුරුදු 7 ඇතුලෙ මං කරපු'කියපු දේවල් වල ඵල, මේ වෙද්දි මං නෙලමිං ඉන්නෙ.. ඒවා තවත් මොනවාට හෝ අනාගතේදි පාර කපාවි.
ඉවරයි.
. . . . . . . . . . . . . . . . . . . . . . . . .
* ලියනවනං මේ වගේ කතා හැමෝටම තියෙන බව හරක දන්නවා. ඉතිං අතීත ආවර්ජණ වලදි දැනෙන අමුතු සුන්දර හැඟීමෙ මහලොකු විෂේශයක් නැති බව, ඒ හැඟීමෙන් පිටට ඇවිත් හිතනකොට ඕන කෙනෙක්ට තේරෙනවා.
ප.ලි.

** පොත අතේ තියාගෙන රවුම් ගැසීම නිසා ලබපු අත්දැකීම් වෙනම කියන්නම්.
** 6 වසරෙදි, හරකා ජීවිතේ මුලිංම බලපු නාට්ටිය ගැනත් වෙනම ලියන්නම්.

14 comments:

  1. මේක මට හරිම ප්‍රශ්නයක් තිලිණ,,ඔයා සින්ඩි වලට දාලා නැද්ද බ්ලොග් එක ..මෙච්චර වටිනා ලිපි මිනිස්සු නොකියවා ඉන්නවා නෙමේ .. මාත් ඉස්කෝලේ කාලේදී එකම එකපාරක් නාට්ටියක් බලලා තියෙනවා ඊට පස්සේ නැහැ ,,

    මොනව'උනත් පහුගිය අවුරුදු 7 ඇතුලෙ මං කරපු'කියපු දේවල් වල ඵල, මේ වෙද්දි මං නෙලමිං ඉන්නෙ.. ඒවා තවත් මොනවාට හෝ අනාගතේදි පාර කපාවි.//// මේක ඒ විදියටම වේවි

    ReplyDelete
    Replies
    1. හරකගෙ බ්ලොගට එන හිට්ස් ගණන මීට වඩා ගොඩක් වැඩි විය යුතු බව මමත් හිතනවා. මොකද මේ බ්ලොග් පිටුව තුළ මම අනිත් සිංහල බ්ලොග් බොහොමයකට වඩා වෙනසක් දැක්කා. "අරටුව හයිය ගහක්" වගේ.

      Delete
    2. @ ඔමා
      >පැත්තකින් "හරකට උදව් දෙන සින්ඩි" කියලා දාල තියෙන සින්ඩි ටිකේ මං ඉන්නවා. ඒත් මට හිතෙන්නෙ සින්ඩි වලට වඩා ගොඩක් අය බ්ලොග් බලන්නෙ බ්ලොග් රෝල් වලිං. ඉතිං මේ බ්ලොග් එක ඇඩ් කරං ඉන්න අය මං හිතන්නෙ ගොඩක් අඩු ඇති. මාතලං'ගෙ සින්ඩියෙන් නං මේ වෙද්දි මගෙ බ්ලොග 101වතාවක් බලල තියෙනවා. වෙන එව්වගෙන් එච්චරවත් නෑ.
      >හ්ම්ම්...ලංකාවට ගිය වෙලාවක නාට්ටියක් දෙකක් බලල එන්න.
      >thanz ඔමා

      @ බස්සි
      කෙහෙල් බොඩෙත් කෙහෙල් ගහට හයියයි'නෙ බස්සියො. සමහර විට මං කෙහෙල් ගහක් වෙන්නත් පුලුවංනෙ.. :)

      Delete
    3. //ඒත් මට හිතෙන්නෙ සින්ඩි වලට වඩා ගොඩක් අය බ්ලොග් බලන්නෙ බ්ලොග් රෝල් වලිං //
      ඔව්.. බොහෝ දුරට ඒක හරි. නමුත් හත්මාලුව, ලාංකිය සිතුවිලි, කොත්තු වගෙ සින්ඩි වලිනුත් සෑහෙන පිරිසක් බ්ලොග් කියවනව මගෙ ස්ටෙටස් අනුව නම්. ඒවටත් දාගන්න.

      Delete
    4. හත්මාළුව සහ ලාංකීය සිතිවිලි දෙකට ඉල්ලුම් කලා, ගත්තෙ නෑ. කොත්තු ගැන දැනගත්තෙ දැං. සර්ච් කරලා ඉල්ලුම් කරන්නං. තෑන්ක්ස් චන්දන.

      Delete
  2. කාලය මැව් වෙනසක අරුමේ... න්මුත් හොද වෙනසක්..
    සුභ අනාගතයක්..
    අර පොයින්ට්ස් වලින් ලියල තියන දේ තමයි මේ ලිපියෙ මම ආසම දේ.. හිතට හරිම බලාපොරොත්තු සහගත බවක් දැනුන මගේ අනාගතය සම්භන්දවත් :)

    ReplyDelete
    Replies
    1. ඕං එහෙනං මාත් 'සුබ අනාගතයක්' කිව්වා.. thanz සමියා.

      Delete
  3. මම ඔබේ බ්ලොගය අඹ ගහයටට ඇඩ් කලා. කියන්න අමතක වෙන්න ඇති.ඒත් කියවන්න හොඳ යමක් දැක්කොත් මම එය ඇඩ් කරනවා.

    ඊටත් වඩා මේ කොමන්ට් හිට් කවුන්ටර් වලට ගෝ එකක් දෙන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා තිලින ගැන මට නම් හිතෙන්නේ. මම මෙහි කවදාවත් කොමන්ට් කරලා නැතිව ඇති. ඒත් ඔබේ බොහෝ සටහන් මම ආසාවෙන් කියවනවා. ඒත් හැමෝම වගේ ගෝ එකට කමන්ට් කරන්න. ඕන කියලා මම නම් හිතන්නේ නෑ. කොටින්ම ඔබ වගේ කෙනෙක්ට එහෙම ඊසි හුරේ එකක් ඕන කෙනෙක් නෙමෙයි කියලයි මම නම් හිතන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක ගැන යමක් කියන්න හිටියට අමතක වුනානේ. මේ නත්තල් දවස් ටිකේ මාත් කලේ මගේ යාළුවෙක් මට හාඩ් එකකට කොපි කරලා තිබ්බ කෙටි නාට්‍ය, එස් එස් හා ලංකාවේ කලාත්මක කියලා කියන ෆිල්ම් ටිකක් බලපු එක. යාළුවාට මම ඒවා ගැන හිතෙන දේ කියන්න මම පරක්කුයි තමයි. ඒත් එස් එස් ටික නම් මට හොඳට අල්ලලා ගියා.

      Delete
    2. > මම "හරකට උදව් දෙන සින්ඩි" ලිස්ට් එකට "අඹ ගහ යට" ඇඩ් කරේ ඔබ මේල් එකක් එවපු දවසෙමයි. ඇඩ් කරපු දවසෙම ඔබ මේල් කරලා තිබුණා. කියන්න අමතක උනා නෙමෙයි, කියපු බවයි අමතක වෙලා තියෙන්නෙ.. :) අඹ ගහ යට සින්ඩිය කරන්නෙ කවුද කියලා මං දැනං හිටියෙ නෑ. දැං හිතෙනවා ඒ ඔබ වෙන්න ඇති කියලා. Thanz
      > කොමෙන්ට් වැඩි වෙද්දි ඒක හිට්ස් වැඩි වෙන්න බලපාන්නෙ කොහොමද කියන එක ගැන මට තවම හරි තෙරුමක් නෑ.
      > අහ්... ඕක මොකද්ද... මමත් කොහොමත් කොමෙන්ට් ගැන විෂේශෙන් බලාපොරොත්තු වෙන් නෑ. බ්ලොග් බලන පිරිස මගේ ලිපි කියවනවනං ඒ ඇති හොඳටම..
      > sorry යාළුවා, මං "එස් එස්" කියන්නෙ මොනවද කියලා දන්නෙ නෑනෙ.. ?

      Delete
    3. ඒත් ලියන දේවල් වැඩි දෙනෙක්ගේ ඇහැ ගැහෙන්නේ නැතුව නිකන් එකතුවෙන එක අපරාධයක්,, එහෙමත් කෙනෙක් මිසක් පහුකාලෙකදී අලුතෙන් කියෝන අය පරණ පෝස්ට් හොයලා කියවන්නේ නැහැ .. ඒ නිසා සින්ඩි වලට දානවා වගේම ඔයා පුළුවන් වෙලාවට යාලුවන්ගේ බ්ලොග් වල කොමෙන්ට් කරන්න ,,

      Delete
    4. ඒක නං ඇත්ත. thanz ඔමා

      Delete
  4. කියවන්න හොඳ දෙයක් තියන බ්ලොගක්. පුලුවන් නම් අර ඡේද තව පොඩ්ඩක් කෙටි කරන්න ලියන කොට. එතකොට කියවන්න ටිකක් පහසුයි කියල හිතුන මට. ආයෙ එන්නම් ඉඩක් ලද විටක.

    ReplyDelete
    Replies
    1. උපදෙසට ස්තූතියි. ආයෙ ලියද්දි මං ඒ ගැන සැලකිලිමත් වෙන්නෙම්.

      Delete