Friday, June 13, 2014

විවාහය සඳහා ගණිකාවක් සොයමි.

මේ.., අවුරුදු දෙක'තුනකට කලිං හරක බුකියේ දාපු ස්ටේටස් එකක්.
ඒකත් එක්ක වෙච්චි පොඩි සිද්දියක් ලියන්න හිතුනා.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
විවාහය සඳහා ගණිකාවක් සොයමි.

සමාජය විසින් ඔබව හඳුනාගන්නේ හිගන්නියකගේ සිට එග්සෙකටිව් තනතුරක් දක්වා ඇති කුමන නමකින්'ද ? නැත්නම් ගණිකාවක් නමින්'මද ? ඒ කෙසේ වුවත් කම් නැත. ඔබ ගණිකාවක් නම්, මේ අවස්ථාව ඔබටයි.

ඔබේ ආගම කුමක් වුවත් කම් නැත. කුලය කියා දෙයක් මා දන්නේ'ද නැත. උස/කොට , කළු/සුදු , කෙට්ටු/මහත , කැත/ලස්සන හෝ ඒ අතර තත්වයන් කිසිවක් සලකා නොබැලේ. දැරියක'ද , මැහැල්ලක'ද නොවී ලිංගිකව සක්‍රීය නම් හොඳටෝම ඇතිය.

දේපොළ තිබීම අනවශ්‍යයි. දෑවැදි තබා සත 5ක්'වත් අවශ්‍ය ද නැත. මට නිවසක් හිමි බැවින් විවාහයෙන් පසු එහි වාසය කල හැක. ඊට අකමැති නම් එය විකුණා දමා ඔබත් මමත් කැමති සුදුසු තැනක පදිංචියට යාමට ද කැමැත්තෙමි.

ඔබ, යහන් ගත වූ හෝ යහනකින් තොරව යහන් ගත වූ (හිටගෙන, පේමන්ට්, කඩපිල්, පැදුරු, ටොයිලට්, බාත්'රූම්, ත්‍රීවීල්, ලෑන්ඩ්'කෘසර් ආදිය..) හෝ ආදරය කල හෝ ගනුදෙනුකරුවන්'ගේ හෝ "ගණන" කීයදැයි දැනගැනීමට අවශ්‍ය නැත. සොයා බලන්නේ ද නැත.

විවාහයෙන් පසු ද ඔබේ වෘත්තියේ නියැලීමට අවශ්‍ය නම් ඊට ද කිසිදු බලපෑමක් නැත. කොටින්ම මෙය එකට ජිවත් වෙමින් දුක'සැප බෙදා ගැනීමේ එකඟතාවයක් මිස, විවාහයේ නාමයෙන් සවිඥානිකව හෝ අවිඥානිකව නීති දමා රුචි'අරුචි'කම් තමන්ට අවශ්‍ය පරිදි සීමා කරමින් සහකාරිය පාලනය කරන හෝ ඇය යටතේ පාලනය වීමේ මනස්කාන්ත ඊනියා "විවාහ බැඳීමක්" නොවන බව සලකන්න.
දැන්වීමක් නිසා ඊට "විවාහය" යන වචනය පාවිච්චි කලද, එවැනි "ඩීල්" එකක් නොව ඊට එහා ගිය තේරුම් ගැනීමකින් එක්වීමට කැමති නම් වඩාත් මනාපය.

ඊයේ'පෙරේදා ලබාපු සිකුරු'ගේ සිට අල්ලපු චක්‍රාවාටයේ කේතු දක්වා සියල්ලෝම භ්‍රමණය වන්නේ ඔබ වටා බව දනිමි. එම ග්‍රහයින් මට අදාල නැත. එමෙන්ම, කේන්දර වල සිටින ග්‍රහයන් වටා මම ද භ්‍රමණය නොවෙමි. එබැවින් කේන්දර ද සලකා නොබැලේ.

ඉහත දැක්වූ අදහස් හා කරුණු විවාහයෙන් පසුද දශමයකින්'වත් වෙනස් නොකරමි.

මම අවු.25ක තරුණයෙකි. ප්‍රිය කරන්නේ ස්ත්‍රීන් බැවින් ද ගණිකාවක හා විවාහ වීමට කැමැත්තක් ඇති බැවින් ද ඔබ ගණිකාවක් වීම හොඳටෝම ප්‍රමාණවත්ය. විහිලුවට inbox නොකරන්න.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
හරක මේ දැන්වීම බුකියේ ස්ටේටස් එකක් විදිහට දැම්මෙ, ඒකෙ ඉන්න මිතුරා'ගේ සිට අපතයා දක්වා පිරිස මේ වාගේ දැන්වීමකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියල බලන්න තිබ්බ ආසාවට...
අම්බෝ'ඕඕඕඕ....... ඒකට ලැබුණු කමෙන්ට්ස්, මැසේජස් තොගේ....
සමහරුන්ට හරකව මාරම පොරක් වෙලා තිබුණා. සමහරු "පිස්සු විකාර දාල පොරක් වෙන්න හදන්න එපා" කියල කුණුහරපෙන් බැන්නා. හරකාගේ ජීවිතේට වෙන්න යන හානිය ගැන මිතුරු උපදෙස් වැක්කෙරුනා. තමං හිතෙන් කොහොම එකෙක් උනත්, සමාජෙට පෙන්නගෙන ඉන්න පත්තිනි රාමුව නිසා ගොඩනැගුනු ගර්වයට මේ ස්ටේටස් එක පහරක් වෙච්චි මිතුරෝ කීපදෙනෙක් වගේම මිතුරියෝ රොත්තකුත් මැසේජ් කරමින් වාද කරන්න ගත්තා , තරහා උනා.
නිරුවත වහං ඉන්න පුහු සදාචාර රෙද්ද ඔලුවෙන් ගලව'ගෙන හිතන්න බැරි සමහරු පන්සිල් රකින හැටිත් උගන්නගෙන ආවා.

ඔය ඔක්කොම අතරේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති කෙනෙක්'ගෙන් මැසේජ් එකක් ආවා.
"මගේ වයස 27යි. ඔයාගේ නෝට් එක මං කියෙව්වා. ඔයාගේ පේජ් එක බොරු එකක් නෙමෙයි කියල බලද්දී පේනවා. අරක දැම්මේ ඇත්තටද ? ඇත්ත නං චැට් කරන්න. මේ පේජ් එක බොරු එකක්. ඇත්ත විස්තර පස්සේ කියන්නං. මං ඒ ජාතියේ කෙනෙක්"

හරක දවස් කීපයක් චැට් කරා. ඇත්තටම ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් මේ ස්ටේටස් එක දැකල කතා කරාවි කියල හරක නිකමටවත් හිතුවේ නෑ. නමුත් මේ සිද්ද වෙන්නේ ඒක කියල තව තවත් ඈ සමඟ කතා'බහ කරද්දී තේරෙන්න ගත්තා.
ඈ ඇගේ ඇත්ත තොරතුරු හරකට කිව්වට පස්සේ, ඒ ගැන හොයල බලද්දී ඒවා ඇත්ත.
අපි දිගටම කතා කරා. කෝල් කරා.

මාසයක්'හමාරක් ගත වෙද්දී හරක එක්ක කතා'කරේ ගණිකාවක් නෙමෙයි. තමන්ගේ ජීවිතේට, හැඟීම් වලට පිරිමි හදවතක ඉඩක් ඉල්ලන කාන්තාවක්. ඒ වෙද්දී හරකටත් ඈ'ව මුණගැහිලා කතා කරන්න උවමනාවක් තිබුණා. ඒත්, මුල් දවස් වලදී ඈ කිව්වා වගේ "හරක ගැන හිතෙන දේ පස්සේ කියන්නං" කියපු දවස එනකං බලං හිටියේ.
ඕං.. ඒ දවස ආවා...

"හී හී... ඔයාගේ අර මංගල දැන්වීම නං මරු. ඒක බලපු දවසේ මට හිතුන මෙහෙම පිරිමිත් ඉන්නවද කියල. දැන් නං දන්නවා. මට මේ ජීවිතේ වෙනස් කර ගන්න ඕනේ. ඔයා මනුස්සකන් දන්නවා, හිතන විදිහ හරියට හරි. මං හිතන්නෙත් එහෙම තමා. හැබැයි මට තාම ඔයාව ෂුවර් නෑ හරිද...හී  හී..."

"හරි, එහෙනං හෙට'අනිද්දම දවසක අපි මුණගැහිලම කතා කරමු"

"හා... එහෙනං ඔයා එදාට වෙලාවත් අරං එන්නකෝ. මං ඒකත් බලලම කියන්නං"

"වෙලාව අරං එන්න කියන්නේ...?"

"ඔයාගේ කේන්දරේ කොපියක් අනේ..."


10 comments:

  1. මේකට කමෙන්ට් එකක් හැටියට දානං වෙන්නේ
    ඉතිං ඊට පස්සේ මොකද වුනේ.........? කියලා තමයි

    ReplyDelete
    Replies
    1. ඉතිං ඊට පස්සේ, කුමාරිට කේන්දරෙත් එක්කම නටා ගන්න කියපු කුමාරයා වෙන කෙල්ලෙකුට'දෙන්නෙකුට ට්‍රයි කරගෙන දැහැමෙන් සෙමෙන් කාලය ගතකලා...

      Delete
  2. ඒ ඇත්ති කැමති වෙන එකක් නැද්ද ප්රෝෆෙක් ගේ කේන්දරයක් බලන්න..
    අදයි මෙහ පැත්තේ ආවේ උපේ ලිවිල්ල සුපිරි සහෝ

    ReplyDelete
    Replies
    1. කැමති වෙන එකක් නෑ බං...ප්‍රොෆා'ලා එක්ක කේන්දර බලන්න කැමති පිට පාරෙන් ඩිග්‍රිය ගොඩදාගන්න ආස ඇත්තියෝ විතරනේ...
      .
      තෑන්ක්ස් මචෝ..

      Delete
  3. අනිත් හැමදේම නොසොයන එකා ගණිකාවක්ම හොයන්නේ ඇයි කියලා හිතුණා... අනික අර ප්‍රිටි වුමන් ෆිල්ම් එකේ මේ දෙබස අහලා තියනවද?

    එඩ්වඩ් - "I never treated you like a prostitute...". එඩ්වඩ් පිටවී යයි.
    විවියන් (තමාටම) - "you just did..."

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලිං ප්‍රිටි වුමන් ෆිල්ම් එක බැලුවා. හැබැයි මේ කියන දෙබස නම් මට අමතකයි තිසර...

      Delete
  4. කතාවෙන් මතුකෙරෙන අදහසට අදාල නැති නිසා කතාවේ ඇත්ත නැත්ත ප්‍රශ්න නොකරමි. එකම ප්‍රශ්නයක් පමණක් අසමි.

    උඹ මිට වඩා ලියන්නේ නැත්තේ ඇයි යකෝ??

    පට්ට බන්

    ReplyDelete