Thursday, August 15, 2013

සිංහබාහු නීච වූ පසු දික්තලා රජ'වීම

මාලඹේ රාහුල බාලිකා පාසලේ ළමයි මනමේ නාට්‍ය කරපු නිසා, නාට්‍යයෙ වර්තමාන අයිතිකාරයගෙ නැට්ට ගිනි'අරං කියල සයිබර් අවකාශෙ කීප තැනකම චූටි නිවුස් එකක් තියෙනව දැක්ක. අද හරකගෙ ලිපියට මුල් වෙන්නෙ පහල ලින්ක් එකේ තිබුණු ඒ නිවුස් එක...(කොටන්න)
 හොරණ ශ්‍රීපාලි කැම්පස් එකේ, 2009 බැච් එකේ නාට්‍ය හදාරන කොල්ලො'කෙල්ලො ටික 2011 වසරේ එයාලගෙ final year production එක විදිහට කරල තිබුණෙ අමාලි බොරලුගොඩ විසින් පරිවර්තනය කල ස්පාඤ්ඤ නාට්‍යකරු Federico García Lorca'ගේ 'යෙර්මා' නාට්‍යයේ පිටපතක්. නිෂ්පාදනය කලේ තරිඳු ජයමුතුගේ. මේ'ගොල්ලො නාට්‍ය 2012 ජාතික යෞවන නාට්‍ය උළෙලටත් ඉදිරිපත් කරලා අවසාන වටයටත් තේරුණා. යෞවන නාට්‍ය උළෙලේ ෆයිනල් ෂෝ එකට ලයිට් ඩිසයින් කරන්න බාරගත්තු හරකත් ෂෝ එකට කලිං අන්තිම දවස් පහේ ශ්‍රීපාලි කැම්පස් එකට ගියා රිහසල් වලට. මාස කීපෙක ඉඳං කොල්ලො'කෙල්ලො ටික උදේ 'රෑ වෙනසක් නැතුව අනිත් වැඩ ඔක්කොමත් බැලන්ස් කරගෙන රිහසල් කලේ, කැම්පස් එකේ තිබුණු තද දුඹුරු පාට පොඩි මඩුවක් වගේ චූටි හෝල් එකක.
ළමයිට කැම්පස් එකේ නාට්‍ය ශාලාව දීල නෑ , පාලන අධිකාරියට ලිඛිත පරීක්ෂණ පවත්වන්න නාට්‍ය ශාලාව ඕන'වෙනවලු....
කොහොමහරි ෂෝ එකට කලිං දවසෙ රෑ 8 විතර වෙද්දි කට්ටිය එකිනෙකාට සුභ'පතාගෙන අන්තිම ලාස්ට් ෆයිනල් රිහසල් එක පටංගන්න හදනකොටම ඔන්න ලලිතා සරච්චන්ද්‍ර'ගෙන් නිෂ්පාදක තරිඳු ජයමුතුගේ'ට කෝල් එකක් ආව.

ලලිතා'ත් හරියට ආණ්ඩුව වගේ...නෙ ?
මීට පෙර 'යෙර්මා' නමින් ඇය එම නාට්‍ය නිෂ්පාදනය කර තිබෙන නිසා, එනමින් වෙනත් කෙනෙකුට එම නාට්‍යය නිෂ්පාදනය කල නොහැකි බවත්, කරන්නේ නම් මුලින්ම තමාට ඒ බව දැන්විය යුතු බවත්, හෙට දිනයේ නාට්‍යය පෙන්වනවානම් වෙනත් නමකින් නම් කොට වේදිකාගත කරන ලෙසත්, නොකලහොත් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා බවත් ලලිතා විසින් තරිඳුට ඉතා සුහදව තර්ජනාත්මක ස්වරයෙන් කියා තිබුණා. අවශ්‍ය නම් 'යෙර්මා නොහොත් වඳ ගැහැණිය' ලෙස නම් කර නාට්‍ය පෙන්වන ලෙස තව දුරටත් යෝජනා කල ඈ තමා විසින් මේ ගැන, මේ මොහොතේම ජාතික තරුණ සේවා සභාවත්, නාට්‍ය උළෙලේ විනිශ්ච්‍ය මණ්ඩලයත් අමතා නම වෙනස් කිරීමට අදාල පියවර ගන්නා ලෙස දන්වන බවත් කියා, පසුදින නාට්‍ය බලන්න එන බවත් ප්‍රකාශ කලා.

හරක හැමෝගෙම මූණු වලින් දැක්කෙ, කට්ටියටම බඩු පැකට් වුන ස්වරූපයක්. මේ සිසුන්ට මේ වගේ සිද්දියකදි ප්‍රතිචාර දක්වන විදිහ ගැන ජීවන අත්දකීම් නෑ. ඒ වගේම මෙවැනි තත්වෙකදි නීතිමය කාරණා බලපාන විදිහ දන්නෙත් නෑ. කට්ටියගෙම හිත් හොඳටම අවුල් වෙන්න කලිං, 'මේ වැඩේ ඉවරකරලා ඒ ගැන හිතමු' කියලා තරිඳු රිහසල් එක පටංගත්ත. රිහසල් එක යන අතරෙ 'යෙර්මා නොහොත් වඳ ගැහැණිය' ලෙස නම වෙනස් කරාද කියලා තහවුරු කරගන්න ලලිතා කීපසැරයක්ම කෝල් කලා. මේ අතරෙ ජාතික තරුණ සේව සභාවෙ, නාට්‍ය උළෙල භාර නිලධාරියත් කෝල් කරල නාට්‍යයෙ නම වෙනස් කරන්න කියලා ඉල්ලා සිටියා. ඒ විදිහට එදා රෑ කීපදෙනෙකුගෙන්ම කෝල්ස් ආව. ලලිතා සරච්චන්ද්‍ර කියන්නෙ "ලලිතා මැඩම්" නිසාත් තරිඳු ජයමුතුගේ කියන්නෙ "අර තරිඳු කියන කෙනා" නිසාත් කෝල් කරපු හැමෝම විචාර බුද්ධියකින් තොරව තරිඳුට කිව්වෙ 'නාට්‍යයෙ නම වෙනස් කරන්න, එතකොට කිසි ප්‍රශ්නයක් නෑනෙ' කියල.

ලලිතාගේ තර්කයට අනුව බලද්දි, García Lorca ආපහු යෙර්මා කරනවනං මිනිහටත් ලලිතා'ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසා මොන මගුලක් උනත් කිසි වෙනසක් නොකර කරපු විදිහටම නාට්‍යය කරනව කියල කතා වෙලා කොල්ලො'කෙල්ලො ටික එදා රෑ විසිරුනා. හැබැයි හැමෝම විසිරුනේ හිත් වල ලොකු ඩවුට් එකකින් බව හරක දැක්කා... පහුවදා උදෙන්ම වෙච්ච සිද්දිය ගැන විනිශ්ච්‍ය මණ්ඩලය ඇතුළු නාට්‍ය උළෙලට අදාල හැමෝම දැනුවත් කරපු අපි, නාට්‍යය පෙන්නන්න කලිං ඕඩියන්ස් එකට, යෙර්මා නාට්‍යය පරිවර්තනයක් ලෙස ලංකාවෙදි නිෂ්පාදනය වුනු පෙර අවස්ථාවන් ගැන කෙටි හැන්දින්වීමක් කරලා නාට්‍යය පෙන්නුව.

එදා නාට්‍යය සාර්ථකව කෙරුනෙ නෑ. හරක අතිනුත් ලයිටිං වලදි මිස්ටේක්ස් කීපයක් උනා. අසාර්ථක වීමට ලලිතා හේතුවක් නෙමෙයි. කොහොම උනත් එදා මොකක් හෝ හේතුවක් නිසා නාට්‍යය පෙන්නුව Bishop's Auditorium එකට ලලිතා ආවෙ නැති නිසා මොකුත් හැපනිං එකක් උනෙත් නෑ...
ලලිතා ඇබ්සන්ට් වීම හැමෝගෙම සතුටට කාරණාවක් උනා...

'Yerma' by Tharindu Jayamuthuge
2006දි, කැළණි කැම්පස් එකේ නාට්‍ය නිෂ්පාදනය කරන Academic Players group එකත් 'යෙර්මා' නාට්‍යය නිෂ්පාදනය කලා. ඒ පිටපතත් අමාලි බොරළුගොඩ'ගෙමයි. (ලලිතා කලේ සුනිල් ආරියරත්න හා මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් පරිවර්තනය කල 'යෙර්මා' පිටපතයි). ලලිතා විසින් Academic Players'ලාටත් 'යෙර්මා' නමින් නාට්‍යය රඟදක්වීමට විරුද්ධව තර්ජණාත්මක පිස්සුවක් නැ‍ටුව... පස්සෙ Academic Players'ලා පෙන්නපු හැම ෂෝ එකක්ම "යෙර්මා නම් ඇය" ලෙස නම වෙනස් කරල පෙන්නන්න සිද්ද උනේ එම තර්ජණාත්මක ඇඬියාවේ ඵලයක් විදිහටයි.
ඒ වගේ තව කීදෙනෙකුට ලලිතා' මෝඩ ජෝක් දාල තියෙනවද , දාන්නට නියමිතද කියල හරක දන්නෙ නෑ....

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ කඩ'ඉම් ලකුණක් සටහන් කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ, සිංහබාහු ඇතුළු බොහෝ නාට්‍ය ප්‍රමාණයක් වර්තමානයේ දී පවත්වගෙන යන්නේ ඔහුගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර මහත්මියයි. ඒ කාලෙ ඒ නාට්‍ය වල තිබුණු බර'ට සාපෙක්ෂව මේ කාලෙදි බර කොහොම උනත්, එම නාට්‍ය වල ගුණාත්මක බව සහ නාට්‍ය කණ්ඩායමේ විනය ඇතුළු සියල්ල හැකි උපරිමයෙන් පවත්වාගෙන යන්න ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය කැපවී, වෙහෙස වී කටයුතු කරන හැටි හරක දැකලා, අහලා තියෙනව. ඒවගෙම ඒ කාර්යය අගය කොට සලකනව.

කිසියම් කලා නිර්මාණයක් නැවත නිෂ්පාදනය කරද්දි ඊට අදාල'වෙන නීතිමය පැත්තකුත්, සදාචාරාත්මකව කල යුතු දේවලුත් තියෙනව. ඒ කාරණා වල බර, රටින් රටට හා ඒ ඒ රටවල් වල දේශපාලනික, සංස්කෘතික හා සංස්කෘතියට අදාල නීතිමය කරුණු වලට සාපේක්ෂව අඩු වැඩි වෙනව. කලා කෘතියක් ඒ'නමින් ඒ විදිහටම කොපි කරල ඒක මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් එලිදක්වනවා'නං එය බුද්ධිමය දේපල සොරකම් කිරීමක්, වරදක්.
'Yerma' by Academic Palyers

(re-make කරනවා කියන එකෙන් අදහස් වෙන්නෙ මේක නෙමෙයි, ඊට වඩා වෙනස් වෙනම කතා'කලයුතු දෙයක්)
නමුත් Federico García Lorcaගේ 'යෙරමා' නාට්‍යයේ දෙදෙනෙකු විසින් පරිවර්තනය කල පිටපත් දෙකක් නිෂ්පාදනය කරද්දි, එකම නම භාවිත කරනවා'නං, එක් පරිවර්තනයක් නිෂ්පාදනය කරන්නා අනෙක නිෂ්පාදනය කල කෙනාගෙන් අවසර ගත යුතුයි කියල නීතියක් කොහේවත් නෑ... සධාචාරාත්මක රීතියකුත් නෑ...
මනමේ ගැන කිව්වත් මනමේ නාට්‍යට සාපේක්ෂව ඔච්චර තමයි.

ලංකාව හැම අතින්ම වලපල්ලට යමිං තියෙන කාලෙක, මිනිස්සු තව තවත් ගෝත්‍රික වෙමිං තියෙන කාලෙක මනමේ හෝ යෙර්මා ගැන කතා කරන එක මහ චූ වැඩක්...
මං වගේ හරක් ලියන හරක් ලිපි නිසා හරි, කලා නිර්මාණ නැවත නිෂ්පාදනය වී ඇති ආකරය ගැන ලෝක මට්ටමෙන් උදාහරණ ගෙනහැර පෑමෙන් හරි ලලිතා වගේ මෝඩ ගෑණුන්ගෙ යාවත්කාලීන නොවන කුඩා'මොල ශෝධනය කරන්න බෑ. ගිය අවුරුද්දෙ හිරු TV එකේ ගිය වැඩසටහනකින් මනමේ , සිංහබාහු නාට්‍ය වල ගීත විකෘති කොට විකාශය කලා කියල ලලිතා, හිරු TV ආයතනයෙන් ලක්ෂ 300ක වන්දියක් ඉල්ලල නඩු දාල තිබුණ. ඒ පිළිබඳව ඈ සමඟ කල සාකච්ඡාවකදි, අහපු ප්‍රශ්න වලට ඇය ලබා දී ඇති පිලිතුරු දිහා බලද්දි කලා නිර්මාණ, රසවින්දනය සහ ආකල්ප අතින් ලලිතා කොච්චර දුප්පත්ද, ලපටිද, මෝඩද කියල මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව.
නාට්‍ය වලින්ම status හදාගත්තු ලොකු පු‍ටු වල ඉන්න කලා'කාරයො කීපදෙනාට මේ'වගේ විශබීජ වල සැර බාල කරන්න, කරන්න ඕනෙ පෑනකින් පොඩි වචන ස්වල්පයක් ලියන එක හෝ කතා'කරන එක විතරයි.
ඒත් එහෙම නොකරන්නෙ ලලිතා කියන්නෙ 'මැඩම්' කෙනෙක් නිසා වෙන්න ඇති කියලයි හරකට හිතෙන්නෙ...

රාහුල බාලිකාවෙ ළමයි අපහසුතාවට පත්වීම / ලලිතා ඇබ්සන්ට් වීම නිසා අපි ලැබූ සතුට / Academic Players'ලාට නාට්‍යයෙ නම වෙනස් කිරීමට සිදුවීම , කියන සිදුවීම් තුනම නොවිය නුතුව තිබුණු දේවල් කියලා හරකා හිතනව. තේරුම් ගන්න ඕන දේ තමයි අලුත් පරම්පරාවෙ උඹලා'අපි'ත් දැනුම අතින් දුප්පත් බව. තරුණ කමට ලේ කකියන නිසා එක එක ‍රැඩිකල් හේතු මත ගණන් නොගෙන හිටියොත් අපිත් තව කාලෙකට පස්සෙ අහවල් විසබීජෙ වගෙම තමයි. මිස් වෙලා තියෙන දේවල් ටික ටික හරි එකතු'කරගත්තොත් නං ගොඩ...

මාලඹේ රාහුල බාලිකාවෙ මනමේ කරපු ළමයි ටික ආයෙ කවදාවත් ඉස්කෝලෙ ‍රැස්වීමකදිවත්, කතාවක්වත් පවත්තයිද දන් නෑ...
ලලිතාට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
රෝදෙ හොයාගත්තු ආදි මානවයට ජාතක වෙච්ච උං, ඒ රෝදෙ උංට ඕන විදිහට කරකෝල බැලුවෙ නැත්තං, අද අපිට වෙන්නෙ පුක රෝදෙ උඩිං තියාගෙන උඩ බලං ඉන්න හරි, ලිපට දාල ඇවිලෙන හැටි බලං ඉන්න හරි තමයි.
ප.ලි.

* ගුනසේන ගලප්පත්ති මහතා නිෂ්පාදනය කල 'මූදු පුත්තු' නාට්‍යයද 'යෙර්මා' නාට්‍යයේ අනුවර්තණයකි.

* සමාන නම් තියෙන සමාන නිර්මාණ ගැනත් , වෙනස් නම් තියෙන සමාන නිර්මාණ ගැනත් හොයලා බලන්න කැමති අයට කරන්න තියෙන්නෙ google දෙයියන්ගෙං අහන එක විතරයි. re-makings ගැන පොඩි search එකක් දැම්මොත්, ලෝකෙ මිනිස්සු re-makings ඇතුලෙ මොනතරං නිර්මාණාත්මක සහ රසවින්දනාත්මක ඉසව් පුළුල් කරගෙන තියෙනවද කියලත් දැනගන්න පුලුවං.

* මං සිංහල භාෂාව හසුරවන්න දක්ෂයෙක් නොවුනට කෙනෙකුට අපහාස කරන්න ඕනෙනං, ඒකට ඕන කරන සුද්ද සිංහලෙන් කතා කරන විදිහ හොඳට දන්නව. ඉතිං මේක ලිව්වෙ ලලිතා'ට අපහාස කිරීමේ පහත් අරමුණකින් නොවුනත්, ලලිතා ඇන්ටි මේක බලල අපහාස කලා කියල නැට්ට පාගගෙන නඩු දාන්න හිතනවනං...,
ඔන්න කිව්ව, මං ලෑස්තීඊඊඊයී....

16 comments:

  1. මේක ඇවිත් ලංකාවෙ කළාකාරයන්ගේ තියෙන හීනමානය හා උද්දච්ච කම මිස වෙන මොකක්වත් නෙමෙයි. විශේෂයෙන් කාන්තා පාර්ෂවය. ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක ගොඩට ලලිතා සරච්චන්ද්‍රත් එකතු වෙලා. මහාචාරය සරච්චන්ද්‍රත් කාගේදෝ නාඩගමක් අමු අමුවේ හොරකම් කරලා මනමේ හදන්නේ. ඇන්ජලීන්ලා, සුජාතලා, ලතා මංගේශ්කාර්ලා නැත්නම් කාර් වල යන්නෙ නෑ. එද නිරෝෂා විරාජිනිට පලු යන්න බැන්න සුජාතට අද සින්දුවක් කියා ගන්න බෑ. නිරෝෂා වැජබෙනවා, ඒ වගෙම නව පරපුරට උදව් කරනවා. ප්‍රියා, විකටර්, ඇන්ජලීන්, සුජාතා, ලලිතා කියන්නේ කුහකයෝ..

    ReplyDelete
    Replies
    1. ඔව්, ගොඩක් අයට බොහොම ඉක්මනින් මුල අමතක වෙන 1 තමයි ලොකුම අවුල...

      Delete
  2. මම ආසම ගායකයෝ දෙන්නෙක්ටයි ඔහේ මේ කුහකයා කියලා බනින්නේ .

    ReplyDelete
    Replies
    1. වික්ටර් කියන්නෙ මමත් කැමතිම ගායකයෙක්.
      අපි කැමති , විඳින නිර්මාන්ණ කරන මිනිස්සුන්ගෙ , අපි පුද්ගලිකව අකමැති දේවල් තියෙනවනම් හිත ටිකක් රිදෙනව තමයි. මොනව කරන්නද යාළුවා...
      නිර්මාණ ඇතුලෙ තියෙන සුන්දරකම සමහර කලා'කාරයන්ගෙ පුද්ගලික ජීවිත ඇතුලෙ නෑ. හැබැයි එයාලගෙ ජීවිතත් නිර්මාණ වගේම විය යුතුයි කියල මං හිතන් නෑ, මොකද අපි හැමෝම මිනිස්සු...

      Delete
  3. සහතික ඇත්ත හරකෝ.මේක ඔය මස්කඳට කියවන්න සලස්වපල්ලකෝ.කොච්චර කට්ටක් කාලාද නාට්ටියක් හදාගන්නේ.මේ ගොල්ලෝ මේ ක්ෂේත්‍රයේ ජීනා මැඩම්ලා වෙලා.අතීතයට උරුම නාට්ටි නව නිර්මාණ කියකිය නාට්‍ය උත්සවවලට ගාල් කරකර අලි ටෝක් දිදී ඉන්නවා.අණුමංඩලවල නාට්‍ය පකීර්ලාට පොඩි එකෙකුට අතක් දෙන්න,උපදෙසක් දෙන්න වෙලා නැහැ.එච්චරට මෙගා වැඩ.හැම තැනම පනුවෝ ගහලා.

    ReplyDelete
    Replies
    1. ලලිතා ඇන්ටි මේ ලිපිය දකිනවනම් මමත් කැමතියි. ඒත් මන් හිතන් නෑ එයා වැස්සකටවත් internet log වෙනව ඇති කියලා... එයගෙ drama team 1කේ ඉන්න කවුරු හෝ දැකලා පෙන්නුවොත් මිසක් දකින 1ක් නෑ. එයාගෙ dramas වල ඉන්න යාළුවන්ට න්ං share කලා

      Delete
  4. දන්නවානම් මේකට උත්තර හොයලා දීපන්.
    1)රූපවාහිනියේ කලකට ඉහත විකාශයවූ නටු නැති මල් ටෙලියේ පලිඟුගේ සහ දැන් විකාශයවන A/L ඉවරයි නාට්‍යයේ පරාක්‍රම සර්ගේ චරිත රඟපාන අයගේ නම්.උන් හරි දක්ෂයි බං.

    ReplyDelete
    Replies
    1. මං tv බලන 1 නවත්තලා දැං අවුරුදු කීපයක් වෙනවා, බලන්න උවමනා programme 1ක් තියනවනං net 1කෙන් තමා බලන්නෙ... න‍ටු නැති මල් මං බලල නෑ. ප්‍රසාදිනී අක්ක ඒකෙ act කරන බව ඒ දවස් වල කිව්වා මතකයි. මං හිතන්නෙ මේ කියන්නෙ එයා ගැන වෙන්න ඕනෙ.

      ප්‍රසාදිනී අතපත්තු : ඇය ඉතාම දක්ෂ නිලියක්. අද වගේ දවසක ඇන්ටිගනි, ජනේලෙන් පනින්නද, සින්දු පහයි කෝල් පහයි වගේ වේදිකා නාට්‍ය වල ඇගේ ඉතා හොඳ රඟපෑම් තිබුනා.
      රූප පෙට්ටිය ඇතුලෙ hit වෙලා ඉන්නෙ තරුණ නළු'නිලියො අතරෙ මේ වගෙ දක්ෂ අය නෑ ' but ඒක මෙවැනි නළු'නිලියන්ගෙ වරදක් නෙමෙයි.
      anyway වේදිකාව පැත්තටත් ගොඩ වෙයල්ලා...

      මං දැං ඉන්නෙ ලංකාවෙ නෙමෙයි යාළුවා... A/L ඉවරයි download කරගෙන බලන්න හිතං ඉන්නවා. බලපු දවසක කියන්නම්.
      A/L ඉවරයි කියන්නෙ මෑතකදි හැදිච්ච ඉතා හොඳ ටෙලි නාට්‍ය අල්පයෙන් 1ක්.

      Delete
  5. කැළණි campus 1කෙන් නිෂ්පාදනය කල 'යෙර්මා' නාට්‍යයේ පරිවර්තකයත් 'අමාලි බොරලුගොඩ'මයි. මෙම ලිපියේ එම පරිවර්තකයා ගේ නම මා විසින් සඳහන් කලේ..,
    "මතක විදිහට රන්ජනී ඔබේසේකර" ලෙසයි.
    නමුත් මගේ මතකය නිවැරදි නැත. මුලින් වූ වරද මේ දැං නිවරදි කලෙමි.
    මතක් කර දුන්නේ මා මිත්‍ර තරිඳු ජයමුතුගේ.

    ReplyDelete
  6. ලෝක පූජිත බොහෝ ප්‍රසාංගික නිර්මාණ නැවත එම පිටපතටම නිෂ්පාදනය වීම ලෝකයේ විවිධ අවස්ථාවල හමුවෙනවා. තමාගේත් නොවන නිර්මාණයකට මෙහෙම විරුද්ධා වීම සිංහල ලේ වල තියන දෙයක්. ඒක ලංකාවේ ලොකුයි, පරණයි, ඉහලයි, කියල හිතන(හිතන් ඉන්න )බොහෝ කලා කරුවන්ට තියනවා. මෙහෙම නිර්මාණය වුනු නිර්මාණ වල ඕන තරම් උදාහරණ තියනවා. ඔනනම් සරල එකක් කියන්නම්. ඉතාලියානු සංගීතඥ Lucio Dalla විසින් ලියා ගයන ලද "Caruso" නම් ගීතය youtube එකේ කොටල බලන්න. කීදෙනෙක් මේ සිංදුව කියල තියනවද කියල. සමහර නිර්මාණ කරුවන් තමන්ගේ නොවන මේ ගීතය තමන්ගේ ගීත ඇල්බම වල පවා අඩංගු කරල තියනවා. සමහර අය Lucio Dalla සමගම ගායනා කරනවා.1986 ඉදලා මේ වෙනකම් මේ ගීතය කොතරම් නැවත නැවත ගායනා කරල තියනවද කියල මේ link එකෙන් බලා ගන්න.

    http://en.wikipedia.org/wiki/Caruso_(song)

    නිර්මාණ අතින් බැලුවොත් අපි තාම නාට්‍යක් කියන්නෙ මනමේ, සිංහභාහු වලට. ගෙම්බොත් එක්ක ලිදේම ඉන්න වෙලා තියෙන්නෙ, වැඩිය පේන්න නැතත් ඉදල හිටල හරි හරක් උම්ම්ම්ම්බෑ කියන නිසා තමයි.
    තරුණයන් කරන හැම දේම හරි නෑ. එත් හරි දේට තැනක් නෑ. හඬක් නෑ. කවුරු හරි ඇන්ටිට මෙක පෙන්නුවොත් හොදයි. වයස ගියත් වැරැද්දක් හරි ගස්ස ගන්නවනම් මෙලොවට නැතත් එලොවටවත් වැඩක් වෙයි.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Tek මහත්ත්යො, උපදෙසට thanz.
      අනිවා... දිගටම යනෝ...

      Delete
  8. hemoma aluth drama karanna utsaha karana 1 tama honda.1 tama mage adahasa

    ReplyDelete
    Replies
    1. ඔව් ඉසුරු ඒක හරි. හැබැයි මං හිතනවා අළුත් නාට්‍ය කරනවා වගේම පරිවර්තන නාට්‍යත් ඒ'හා සමානවම කල යුතුයි කියලා. මොකද සාපේක්ෂව පරිවර්තන නාට්‍ය වලිං ක්ෂේස්ත්‍රයට එකතු වෙන දැනුම ගොඩක් වැඩියි.

      Delete
  9. ඉති මචන් බයිස්කෝප් ඩොට් එල් කේ කස්ටිය කරන්නෙත් ඕකමනේ. Film එක හොරෙන් බා ගන්න link එකක් දාල ඉංග්‍රීසියෙන් තියෙන sub titles සිංහලෙන් ලියලා ඒක copy right කියල දානවා.

    ReplyDelete