Wednesday, December 25, 2013

නත්තල් සීයා වෙත ,

අනේ නත්තල් සීයේ,
මං උඹ ගැන දැනගනිද්දි මට වයස අවුරුදු දෙකයි. එදා ඉඳං අද වෙනකං අවුරුදු විසිපහක් තිස්සෙ උඹ එනකං මං බලං ඉන්නවා කියලා උඹ තාම දන්'නැද්ද ? අද දවස ඉවර'වෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ.
හ්ම්ම්ම්... උඹ අද එන්නෙත් නෑ සීයෙ..

උඹේ බොස් ඉපදුනෙත් මං ඉපදුනා වාගෙම ගව'මඩුවක සීයෙ. පොර හැමෝටම ආදරේ කරන්න කිව්වට උඹ වැඩ කරන්නෙත් පංගු'පේරුවටමයි නේද ? මොනම දේකදි'වත් පංගු'පේරුවට වැඩ කරනවට මං නං කැමති නෑ. ඒත් උඹට එහෙම කරන්න ඕනෙම නං, අඩුමගානෙ හරිම පංගුව ‍තෝරගනිංකො.. උඹ සලකන්නෙ බැටළුවොන්ටමනෙ.
උඹට වැරදිලා සීයෙ. මම දන්න කාලෙ ඉඳං අපේ උං හදන හදන ගව'මඩු වලට ගෙනත් තියන්නෙම ප්ලාස්ටික් බැටළුවො. උඹත් දන්න කාලෙ ඉඳංම දැකලා තියෙන්නෙ ගව'මඩු වල හිටවලා ඉන්න බැටළුවො නේද සීයෙ. ඔතනයි උඹට වැරදුනේ.. උඹේ බොස් නං කිව්වෙ අපිට වගේ අං නැති'උනාට' හරීඊඊඊ කියුට් වගේ පෙනුනට ඒ.., බැටළු හම් පොරවගත්තු වෘකයො කියලා. පබා අක්ක නං කිව්වෙ, ඒ හම් ඇතුලෙ ඉන්නෙ නරි කියලා. මොක්කු'උනත් උං හරක් නං නෙමෙයි සීයෙ. හරි හරි, උඹ දැං කියන්න හදන දේ මං දන්නවා. ඔව්, උංව ගව'මඩු වල හිටෙව්වෙ අපි වගේ හරක් තමයි. ඒත් කවදා'හරි අපිත් අං ගලවල දාල, ඔළුව හෝදගෙන මොලේ පාදගන්න ඕනෙ නේද සීයෙ. උඹේ බොසුත් ගව'මඩුවකිං වැඩෙට එන්ටර් උනේ ඒ'හින්දනෙ..

මෙහෙ වනාතෙ කියල පැත්තක් තියෙනව සීයෙ. එහෙ ඉන්න අපේ උංට ගෙවල් හදල දෙන පොජෙට් එකක් යනව. උඹ දන්නවද සීයෙ.. ඒකෙ වැඩ බලන්න ආපු බැටළු පැටියෙක් අපේ උංට උම්බෑ කියපු විදිහ දැක්කම, මට අපේ උං ගැන අඬන්නද' හිනාවෙන්නද' කියලා හිතාගන්න බැරිඋනා සීයෙ. ආත්මාර්ථකාමීකම, කුහකකම, ඊරිසියාව වගේ බර වචන ඔක්කොමයි ඒ'වගෙම ගොංකමයි මෙහෙ ඉන්න හරක්, බැටළුවො දෙගොල්ලොන්ටම මදි නොකියන්න තියෙනව සීයෙ. අපිට යන කල'දසාව හිතාගන්න අර බැටළු පැටිය උම්බෑ කියපු විදිහයි, අපේ උං ඒකට හූමිටි තිබ්බ විදිහයි බලපුවහම හොඳටෝම ඇති සීයෙ. ලොකුම දුක කියන්නෙ ඒ බැටළුවො ටික පැන්නුවයි කියලා අළුතෙං හිටෝලා තියන්න වෙන ක‍ටුස්සෙක්වත් නැති එකනෙ සීයෙ. උඹට මහන්සියි නං අං ගැලෙව්වෙ නැතත් කමක් නෑ. මොල පෑදෙන්න මොනවහරි ගුලි ටිකක්වත්, ඇවිත් මුංට කවලා පලයංකො සීයෙ.

උඹලට වගේ අපිට හිම වැටෙන්'නෑනෙ. ඉර අපේ ඔලුවට උඩිං හැමදාම ටටා කියාගෙන යනව සීයෙ. සොබාමෑණියො උඹලට දෙන බයිට් එකෙං සීයෙන්'පංගුවක්වත් අපිට දෙන්නෙ නෑ කියල උඹලගෙ දේසෙ'ට ආවම මට හොඳට තේරුණා සීයෙ. අපේ උංට මේව්වල අගයක් තේරෙන් නෑ බං. ඒ'අතිං නං සොබාමෑණියො අපිවයි බයිට'ට අරං තියෙන්නෙ. අපේ උංට මෙව්ව තේරුං'ගන්න එයා ඔළුවක් දුන්නෙ නෑනෙ සීයෙ, අං දෙකක් මිසක්..

උඹේ බොස්ව ගණං ගන්න එවුං මෙහෙ අඩුයි සීයෙ. මෙහෙ ගොඩක් අයට ඉන්නෙ වෙන බොස් කෙනෙක්. මං නං ඔය බොස්ලා දෙන්නගෙවත්, අනිත් බොස්ලා පස්සෙවත් ගාටන්නෙ නෑ. හැබැයි මේ බොස්ලා ඔක්කොම හොඳ මිනිස්සු සීයෙ. සුනිල් අංකලුත් කිව්ව උඹේ බොසුයි අපේ බොසුයි එයාලගෙ ගෙදරට වෙලා කිසි අවුලක් නැතුව ටොප් එකට ඉන්නවා, අපියි පිස්සු කෙලින්නෙ කියලා.. උඹ දන්නවද සීයෙ.. ඒ කතාව සහතික ඇත්ත, අපි තමා පිස්සු කෙලින්නෙ, මරාගන්නෙ.
මෙහෙ'බොස්ගෙත් ගෝලයො, අඳින නූල්'පොටේ ඉඳං තැං තැං වල, කෑලි කෑලි වලට බෙදිල සමානාත්මතාවෙයි, සහජීවනේ ගැනයි බණ කියනව සීයෙ. ශ්‍රද්ධාව කියලා එකකිං අපේ උංගෙ ඔලු අවුල් වෙලා හින්ද, මුං කෙලින කෙප්පවල් අපේ උංට තේරෙන්'නෑ සීයෙ. අඬන්න දේවල් ගොඩාරියක් තියෙද්දි මෙහේ ඉන්න උඹේ බොස්ගෙ ගෝලයොත්, උඹේ ඇඳුං ටික නිල්'කුඩු දාල හේදුව කියල පහුගිය දවස් ටිකේ නහයෙං ඇඬුව සීයෙ.

ඔහෙ වගේ මෙහෙ සීතල නැති'උනාට මෙහෙ හැටියට මේ'කාලෙට මෙහෙත් පට්ට සීතලයි සීයෙ. අල්ලපු රටේ තරං නැති උනාට මෙහෙත් රෑ'ට පාරවල් අයිනෙයි, හන්දි ගානෙයි බුදියගන්න මිනිස්සු ඉන්නව සීයෙ. උංටත් දවල්ට රස්නෙයි, රෑ'ට සීතලයි. උඹ දන්නවද සීයෙ.. රෑ'ට අපේ හන්දියෙ කඩපිලක බුදියගන්න සීය'කෙනෙක්ට ගිය අවුරුද්දෙ මං දුන්නු බෙඩ්'ෂීට් එක තවමත් රෑ'ට පොරවගෙන බුදියං ඉන්න'හැටි, රෑ තිස්සෙ රස්තියාදු ගහනකොට මං දකිනව බං.., ඒ වෙලාවට හිතට දැනෙන්නෙ පට්ටම සතුටක් සීයෙ. කළුතර පැත්තෙ ඉන්න අපේ නෑයො කට්ටියක් කුරුණෑගල පැත්තෙ ආරන්නෙ'කට ලොකු දානයක් දුන්න සීයෙ. එතෙන්ට දානයක් දෙන්න හරි අමාරුයිලු. දිනේ බුක්'කරෙත් අවුරුද්දකට කලිං'ලු. ඒ'කියන්නෙ අඩුවක් නැතුව කන්න බොන්න තියෙන තැනක්නෙ සීයෙ. අපේ නෑයො මං ගැන හිතන්නෙත් එයාලගෙ විදිහටම නිසා, මහත්ඵල'මහානිසංස'ද මොනවද ලැබෙනව කියල මටත් අනිවාර්යෙං එන්න කිව්ව සීයෙ. මටත් මං ඔව්වා ගැන හිතන විදිහෙ වැ‍රැද්දක් තියෙනවද කියලා බලාගන්න ඕන'උනු නිසාම වැඩේට ගියා සීයෙ. ලොකු වැඩක් නිසා කට්ටිය කලිං දවසෙ රෑම කුරුණෑගලට සෙට්'උනා. කළුතර ඉඳං කුරුණෑගලට එනකං කඩපිල් වල සීතලේ ගුලි වෙලා නිදාගෙන හිටපු එකෙක්ව'වත් අපේ'උං දැකලා තිබුණෙ නෑ සීයෙ. වැඩේට ලක්ෂ දෙකහමාරක් විතර වියදං උනාලු.. හැබැයි පහුවදා හවස, ලිස්ට් ඒකේ තිබුණු මිදි කිලෝ 20 මිස් උනා කියල කට්ටිය ගොඩක් අප්සෙට් එකේ හිටියෙ සීයෙ. මෙහේ ඉන්න උඹේ බොස්ගෙ පිටිපස්සෙ ගාටන එවුංගෙත් ඔයිට වඩා කිසි වෙනසක් නෑ සීයෙ..

අද මං රූප'පෙට්ටියෙ තියෙන මෙහෙ චැනල් ඔක්කොමයි රට චැනල් ගොඩකුයි පත්තු කර කර බැලුව සීයෙ. උඹ මාරම පොරක්නෙ සීයෙ. උඹේ බොස්'ටත් වඩා පොර උඹ'නෙ. මමත් උඹට ආස ඒකනෙ. මට උඹෙං තෑගි ඕන නෑ සීයෙ. රෑ වෙලා යන ගමං මේ පැත්තෙ වරෙං මං ගානෙ පොඩි අඩියක් ගහල යන්න. එන්න'උනේ නැත්තං පිණිමුවාට කියහං මං මිනිහව මතක් කරා කියල. මගේ 'ඩ්‍රීම් ස්ටාර්' එක පිණිමුවා බව මං කිව්ව කියහං. ප්‍රාර්තනාවක් කරන්න වල්ගා තරුවක්වත් පායන්නෙ නෑනෙ. මෙහෙට කඩං වැටෙන්නෙ උල්කාපාත විතරයි සීයෙ. ඔක්කොමල්ල පංගු'පේරුවට වැඩ.. උඹත් එහෙමනෙ..
නත්තල අපිට හිනාවෙනව සීයෙ.
මට ලැජ්ජයි, ඉතිං ඇති.

මීට,
හරකා.


6 comments:

  1. වැඩුණු යේසුස්ට... පිටුපා
    බිලිඳු යේසුස් ..සොයන
    හිස් මිනිසුන්
    දුටිමි ...
    නත්තල් ගස මුල
    බෝතලේ සිපගෙන
    ----------------------

    හරකට තේරෙන දේ මිනිස්සුන්ට තේරෙයිද බලමු

    ReplyDelete
    Replies
    1. මං අමාරුවෙං කියාගන්න දඟලපු දේ ඔමා පේලි පහ'හයකින් කියල දාලනෙ...
      + + + thanz

      Delete
  2. හෆ්ෆා.... මොනා කියන්නද කියල හිතාගන්ට බෑ හරක. නත්තල් සීයගෙං අහලා යවන්න පාරවල් අයිනෙ ගස් උඩ එල්ලිලා ඉන්නෙ අහවල් වැරැද්දක් කොලාටද කියල.

    ReplyDelete
    Replies
    1. නත්තල් සීයට කවදහරි මෙහෙම වින්නැහියක් වෙයි කියලා ශාන්ත නිකලස්'තුමා දැනං හිටියනං පොර බෙල්ලෙ වල දාගන්නවා. :)

      Delete
  3. සහතික ඇත්ත. රට හරක් ටිකක් තමයි අපිට ඉන්නේ. උන් තව දවසක් දෙකක් යද්දි අම්මා තාත්තවත් විකුණගෙන කයි.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං අයියා, කාට කියන්නද... :(

      Delete