Thursday, May 7, 2015

"වීරයා මකරව මැරුවා. ඉතිං මිනිස්සු තව ජනප්‍රිය උනා" - මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක් (2කොටස)

...මේ මකර ලංකාවේ සිරිවර්ධන පවුල් බොහෝ වෙයි. ඒ කෙසේද යත්,

ඔන්න එකෝමත් එක රටක නපූරු වීරයෙක් හිටියා. එයා ටික කාලෙකින් ලොකූ මකරෙක් උනා. ඉතිං මේ මකරා බොහෝම කාලයක් සාමකාමීව ඒ එකෝමත් එක රට පාලනය කරා. ඉතින් ඒ රටේ මිනිස්සුත් මකරට බොහෝම යටහත් පහත් විදිහට ජිවත් උනා. මකරත් හරි හරියට වැඩ කරා. ලොකු ලොකු මිනිස්සු සතුටු උනා. අනින් මිනිස්සුන්ටත් අමුතුම සතුටක් ලැබුණා. ඒ මිනිස්සු සිංදු කිව්වා. නැටුවා. කෙළිසෙල්ලම් කරා. ප්‍රශ්න අස්සේ තරඟ තිබ්බා. ඒත් එක්කම මාර වැඩක් උනා. ඒ රටේ මිනිස්සු හැමෝම සිංදු කියපු නිසා ඒ මිනිස්සු ඔක්කොම ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. ‘හලී... සතුටුයි’. ඉතිං මකරා හිතුවා රටේ මිනිස්සු හැමෝම සතුටින් ඉන්නවා කියලා. ඉතින් මකරා තමන්ගේ බලය හරි හරියට පාවිච්චි කරන්න ගත්තා. මිනිස්සුන්ට ජිවිතේ අමාරු වෙන්න පටන්ගත්තා. ඒත් මිනිස්සු අමාරුවෙන් සිංදු කිව්වා. අමාරුවෙන් ජනප්‍රිය වුණා. ඔහොම බොහොම අමාරු කාලයක් ගෙවිලා ගියා. දවසක් එකපාරම මකරාගේ පැත්තෙන් මකරා මරන්න වීරයෙක් ඉදිරිපත් උනා. ‘හරි ෂෝක්. අලුත් වීරයෙක්.’ මිනිස්සු හිතුවා. තමන්ගේ මහන්සියෙන් වටේ හිටපු මිනිස්සුන්ගේ උදව්වෙන් අන්තිමේදී වීරයා මකරව මරුවා. ඉතින් මිනිස්සු තවත් සතුටු උනා. තවත් සිංදු කිව්වා. තවත් නැටුවා. තවත් තරඟ තිබ්බා. තව තවත් ජනප්‍රිය උනා. පවුල් පිටින් ජනප්‍රිය උනා. ඉතින් අලුත් වීරයත් මකරා වගේම ඒ රටේ මිනිස්සු සතුටින් ඉන්නේ කියලා හිතුවා. ෂෝ....යි නේ ?
"සිරිවර්ධන පවුල" වේදිකා නාට්‍යයෙන්.
මෙකී වියමනට අවැසි බොහෝ අටුවා ටීකා හා පරිස්ථිතික විචාර (Contextual Critic) සන්දර්භය ‘මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක් 01’ කොටසෙහි ලියැවී ඇතුවාක් මෙන්ම විශ්වවිද්‍යාල දර්ශනවාර අවසානයේ පැවැත්වුණු සංවාද කීපයකම (ලියනගේ අමරකීර්ති/ සෞම්‍ය ලියනගේ/ ප්‍රභා / වංගිෂ / තරුපති / අනුරාධ වැනි සංවාදශීලීන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ) සාකච්චාවට බඳුන්වීම ලාංකීය නාට්‍ය සංස්කෘතිය ගැන සුභ ලකුණු පෙන්වන්නකි. මෙවර රාජිත දිසානායකයන් වේදිකාවට තම ප්‍රකාශනය ලෙස ගෙන එන්නේ වර්තමාන ලාංකීය සමාජ සන්දර්භය තුළ බොහෝ ජනප්‍රියව ඇති, තාරුණ්‍යට වැඩක් මෙන්ම බොහෝවිට අවැඩක් වන රියැලටි සංස්කෘතියේ ඛේදයයි. 2002 වර්ශයේ තරම් ඈතකත් මෙකී මාධ්‍ය සංස්කෘතියේ සමාජමය ඛේදවාචකය හසුකර ගන්නට රාජිතයන් තම ‘වීරයා මැරිලා’ නාට්‍යයෙන් ද සමත්වූ බව සිහිකරනු වටී.

“.........මේ නාට්‍යය ආකෘතිගත කර ඇති ආකාරය නිසාම වඩාත් ඉස්මතු වන්නේ අප අද මේ මොහොතේ අත්විඳින රූපවාහිනී හා මාධ්‍ය සංස්කෘතිය තුළ එහා මෙහා දුවන විකාරරූපී බව හා වෙළඳ මානසිකත්වයයි. ඒ විකාරරූපී බවත් ව්‍යාජ ස්භාවයත් ඉතාමත් තියුණු ලෙසත් ආකර්ශනීය ලෙසත් මතුකර පෙන්වන්නට...
එය එක අතකින් රූපවාහිනී සංස්කෘතියට කන්නාඩියක් අල්ලුවාක් වැනිය. තවත් අතකින් මේ මාධ්‍ය සංස්කෘතිය හා ඇතුලාන්තය පිළිබඳ xකිරණ ගත්තාක් වැනිය.... අප අත්විඳින වේගවත් බව ක්ෂණික බව බහුවිධ හා බහුමාන ස්භාවය මේ නාට්‍ය ආකෘතිය හා නිරූපණය මගින් හසුකර ගන්නට අපූරුවට සමත් වුණා.”

( මනුබන්දු විද්‍යාපති / රාවය 2002 .02.03 )


මෙය 90දශකයේ නැගී විත් බොහෝ සාධනීය නිර්මාණ විවේචනය කිරිමේ අරමුණින් සහ පොරත්ව මානසිකත්වයෙන් සිදුකල x කණ්ඩායම ආශ්‍රිත උගතුන්ගේ ‘පරිබව විචාර කලාව’ (Skit Critic) මෙන් නොව මානවවාදී විචාරයක් (Humanism Critic) යම් ඍජු අරමුණක පිහිටා සිදු කරන්නක් බවත් ‘කශේරුකා ඇතිව නැගී සිටින එකම කලා මාධ්‍ය වන නාට්‍ය කලාව’ට ඇති සුපහන් හැඟීමත් ඒ හැඟීමට උත්තේජනය සපයන නාට්‍යකරුවන් වෙනුවෙන් පොම්ප කරන උණුසුම් ලේ දහරත් හේතුවෙන් ලියවෙන්නක් බවත් මුලින්ම සඳහන් කරනු කැමැත්තේමු. නැතිනම් ඕනෑම සාධනීය දෙයකට ඉතිහාසයක් ඇති බව නොදැන‘දකින පොඩ්ඩෙන් බැලුබැල්මෙන්’ නිගමනවලට එළැඹෙන ලාංකියන්ට මෙය පරිබව විචාර කාර්යයක් ලෙස හැඟීයන්නට පුළුවන. සරලවම මේ ලියවිල්ලට නිගමනයන්ට හිමි නිශ්චිත අතීතයක් ඇත. එසේම මෙය විද්‍යාව නොව කලාව නිසා මේ සඳහන් සියල්ලම සාපේක්ෂකය. ඇත්තෙන්ම මෙය අයාලේ ගොස් ඇති ලාංකීය විචාර කලාව යහමගට ගැනීමේ මානවවාදී ප්‍රවනතාවක ඍජු භාවිත විචාර (Practical Critic) ප්‍රයත්නයකි.

ඇත්තෙන්ම රාජිත දිසානායකයන් ‘ශ්‍රී ලාංකික ඕ නීල්’ ලෙස හැඳින්වීමට කැමැත්තෙමු. එසේම තම බොහෝ නිර්මාණයන්ගෙන් ‘මෙලොව යම් අධිපතිවාදයක් ඇත. අපට හොදින් හෝ නරකින් ඊට යටත් වන්නට සිදුවෙයි’ යන ශුන්‍ය ධර්මතාවය තම අවසාන එළැඹුම හා ඉෂ්ඨාර්තය ලෙස ගැනීම හේතුවෙන් අප ඔහුව නිෂ්ටේ, හයිඩැගර්, සාත්‍රේ වැනි භාවසත්තාවාදියෙක් (Existenter) ලෙස ආස්ථාන ගත කරමු. සමාජමය ඛේදය (Social Tragedy) පෞද්ගලික ඛේදයටත්, පෞද්ගලික ඛේදය (Personal Tragedy) සමාජමය ඛේදය දක්වා වර්ධනය කරමින් ද 19වන සියවසේ ඉබ්සන්/ෂෝ ගෙන් ඇරඹි 20වැනි සියවසේ එංගලන්තයේ ඇලන් ඕවර්/ආනල්ඩ් චෙස්කර් හරහා ඕ නීල්/ ආතර් මිලර්/ ටෙනිසි/ එඩ්වඩ් ඔල්බි වෙත පතිත වන නව යථාර්ථවාදයේ (Neo-Realism) කාලීන සෙවනැල්ල, නව ශෝකාන්තය (Modern Tragedy) දක්වා වර්ධනය වූ ආකාරයත් 60,70 දශකවල ඇමෙරිකාවේ ධනවාදී ක්‍රියාකාරකම් දැන් ලංකාවේ සිදුවන බව සිහිකරමින් ද රාජිතයන් තම නිර්මාණ කාර්යයයේ නිරත වන බව පැහැදිළිව පෙනේ.

මෙකී අවබෝධය ඇති නාට්‍යකරුවෙකුගේ පරිණත අවදියක සිදුකල නිර්මාණයකට ‘වෙන කවරදාකටත් වඩා ටෙලි නාට්‍යක් මෙන් පෙනෙන තරමට පසුබෑමක් ඇත්තේය’ යනුවෙන් තරුණ හා සමකාලීන නාට්‍යකරුවා පරිබව කරන්නේ ඇයි ? යන පැනයේ පටන්ම ‘සිරිවර්ධන පවුල’ නාට්‍ය විමසනු වටී. මන්ද කශේරුකා ඇති නාට්‍යකරුවෙක් ලෙස අප රාජිතට කලානුරාගයෙන් ප්‍රේම කරන්නෙමු.

ඉබ්සන්/ ඔස්කාර් වයිල්ඩ්/ ෂෝ වැන්නන්ගේ විසිත්ත කාමර නාට්‍ය (Drawing-Room play) ගනයේ ලා සැළකිය හැකි මෙහි ස්ථාන, කාල, ක්‍රියා යන ඒකීයධාරණා (Unity) රකිමින් ඇරිස්ටෝටලියානු නාට්‍යයේ ද සුසාධිත නාට්‍යයේ (Well-Made play) ද පිහිටා රාජිත නාට්‍ය රචනා කරයි. එය රාජිතගේ සියලු රචනා මෙන්ම තරුණ හා විශ්වවිද්‍යාල නාට්‍යකරුවන්ට නාට්‍ය රචනය ගැන මුලාදර්ශ සපයන්නකි. බටහිර අධ්‍යනය පමණක් නොව වෙන් වෙන් වශයෙන් ගත්කල ආරම්භ/ යත්න/ ප්‍රත්‍යෂා/ නියථාප්ති/ ඵලාගාම යන අංශ ද රචනයට ගුරුකොට ගෙන ඇතිබව පෙනේ. තවද සාම්ප්‍රදායික රචනයේ (Classical Writing) / අන්තර්ගතයේ (Content) හා සාධිත ආකෘතියේ (Well-made Form) බොහෝ අංගයන් රාජිතගේ නාට්‍ය රචනාවන්ගෙන් යමෙකුට ගැඹුරින් විග්‍රහකල හැකිය. රාජිතයන් (Sri lankan O’Neill) වන්නේ මෙකී අර්ථ වලිනි.

‘සිරිවර්ධන පවුල’ යන නාම සඳහනෙන්ම මෙය නාට්‍යක් නොව ටෙලිනාටකයක් යැයි සමහරුන් දෝෂාරෝපණ එල්ලකරන්නේ නාට්‍ය නිසි ලෙස රසවිඳ නොවේ යැයි සිතෙයි. මන්ද තම නිර්මාණයට සුදුසුම නාම සඳහන රාජිතයන් තෝරා ගැනීමට සමත්වන්නේ නාට්‍යයෙ එක් ප්‍රධාන චරිතයක් නොව ශෝකාන්ත වීරයන් (Tragic Heroes) බොහෝ ගණනක් නැතිනම් මුලු සිරිවර්ධන පවුලම ශෝකාන්ත වීරයන් බවට පත්වන හෙයිනි. මෙය කැලණි විශ්වවිද්‍යාල සංවාදයේදී ප්‍රබල ලෙස මතු වූවකි. යමෙකුට මෙහි ප්‍රධාන චරිතය (Protagonist) පුතා ලෙසත් අයෙකුට අම්මා ලෙසත් පියා ලෙස හෝ දියණිය ලෙසත් ගැනිය හැකිය. එය රාජිතගේ නාට්‍ය රචනයේ වඩාත්ම සාධනීය ලක්ෂණයයි. නාට්‍ය ආරම්භවන්නේම පළමු වි.10 ඇතුලත ප්‍රේක්ෂකයාට නාට්‍යයේ ප්‍රධාන චරිත සියල්ලම අනාවරණය (Exposition) කරමිනි. සරල කතා වින්‍යාසයක රුව ගුණ දැනෙන්නට පටන් ගැනේ. රූපන උපදෙස්, දර්ශන ගැලපීම් (Showing Commands / Scenography),ඒවායෙහි චාරුතාව මගින් රමණීයත්වය (Beauty) ප්‍රේක්ෂක ඇසට ළඟා කරවීම, ඒවා මත පිහිටා නාටකමය කරුණු හා සිද්ධි ප්‍රේක්ෂක මනසට සම්ප්‍රේෂණය කිරීම හා ගැටුම් අවස්ථා වර්ධනය කොට ප්‍රේක්ෂක ආතතිය (Dramatic- Tension) ගොඩනැගීම ආදිය අතින් රාජිත තම වේදිකා ප්‍රයුංජනයේ පරිණත බව පෙන්වයි. එසේම තමාගෙන් ගිලිහීයන තාරුණ්‍ය නුතන ආරකින් විවරණය කිරීම (හැසිරීම, ආශාවන්, සිතැගි, බැදීම් ආදී) හා පවුල්සංස්ථා ආශාවන් සමාජමය ඛේදය දක්වා විහිදෙන අයුරු සුක්ෂමව තම වපසරියට හසුකර ගැන්මට උත්සුක වීම රාජිතගේ ජිවිත පරිඥානය පෙන්වන්කි.

ඉදින් මෙතරම් සාධනීය ලක්ෂණ ඇති ලාංකීය ඕ නීල්ගේ නිර්මාණයක් රසවිදීමෙන් පසු ප්‍රේක්ෂකයන් කලකිරීමෙන් රඟහලෙන් පිටව යන්නේ ඇයි? රාජිතයන් අසමත්වන තැන කුමක්ද? කෙටිකතාවේ සාධිත ආකෘතිය භාවිත කරන්නෙකු වෙන ජයතිලක කම්මැල්ලවීරයන් තමාට ඉන් මිදී නිර්මාණකරණයේ නියැලෙන ලෙස සහෘදයන් ඉල්ලීම් කරද්දී පවා බිඳකදු වෙනසක් නොකර සාධිත ආකෘතියේම පිහිටා තම සාහිත්‍යකාර්යය සිදුකරන්නේ කිසිදු විටක ඒ තුළ අසමත් නොවෙමිනි. නමුත් නාට්‍යකලාවේ එය සිදුකරන්නා අසමත් වීම ලාංකීය වේදිකාවේ අනාගත වැහිකලුවකි. එහෙයින් අප එය විමසන්නේ අනාගත වේදිකාවේ එකී මන්දාරම් වැහිකලුව පහව යන්නට ඉතසිතින් පතමිනි.

අවසන් පැනයට පිළිතුර ලෙස අප දකින්නේ එය නාට්‍ය ප්‍රයුංජනයේ ගැටළුවක් නොව බොහෝවිට නාට්‍ය රචනයේ ගැටළුවක් ලෙසයි. රාජිතයන් අදාල සාධිත මුලධර්ම මතම පිහිටා නාට්‍යරචනයේ නියැලුණත් එයම නාට්‍යයෙ පරහට හිටි සැටි අප දුටුවෙමු. කතා වින්‍යාසය ගොඩ නැගීමේදී ‘රජු මලේය. ඒ ශෝකයෙන් බිසවද මලේය’ නොව ‘රජු මලේය. රජුට ලෙඩරෝග තිබුණේය. එය අවසන් රාත්‍රියේදී බිසවට බෝ විය. බිසව බොහෝ බේත්හෙත් ගත්තාය. රජුගේ මරණය ගැන ශෝකයක් බිසවට තිබුණි. අවුරුදු කීපයක් ගතවිය. බිසව මේ හේතු නිසා මළාය.’ ආදී බොහෝ කරණා පහදාදීමට ප්‍රත්‍යක්ෂ කිරීමට යාමක් තිබුණි. එය ප්‍රේක්ෂක චින්තනය අවදි කිරීම නොව මොට කිරීමකි. නාට්‍ය අවසානයේ හිතන්නට දෙයක් ඉතුරු වුයේ නැත. සියල්ලම රාජිත කිවේය. නාට්‍ය කරුණු සම්බන්දයෙන් ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රජානනය (Awareness) හා සම්ප්‍රේෂණය අවැසි මුත් ප්‍රත්‍යක්ෂය අවශ්‍ය නොවේ. එවිට රස හීන වී යයි. ඇරිස්සොටලියානු නාටකයේ 6වැනි අංගය වන ‘චින්තනය’ එමගින් පිරිහී යයි. මෙකී ප්‍රත්‍යක්ෂයට උපයෝගී වන දෙබස් (Diction) රචනාව බොහෝවිට චෙකොෆ් / ඉබ්සන් වැන්නන්ගේ දෙබස් නාට්‍ය හා ගැටලු නාට්‍ය (Problem plays) ගණයේ ලා සැළකිය හැකිය. මෙකී අධි දෙබස් රචනාවක් රාජිතයන් ගෙන එන නිසාම ඉන් චරිත නිරුපණයටත් බාධා පැමිණෙයි. කාව්‍යශාස්ත්‍රයේ 6වැනි පරිච්චේදයේ සදහන් වන්නේ වාග් විලාසය උපරිමයකට යාම හෙවත් අතිශයින් විචිත්‍ර වාග් විලාසය චරිත නිරූපණයටත්, චින්තනයටත් බාධා පමුණුවන බවයි. ඇත්තෙන්ම මෙය කතා වස්තු ආරූඪයක් (Plot-Ridden) දක්වා දුර දිග යන්නේ රාජිතයන්ගේ මෑතකාලීන රචනා යථාර්ථවාදයේ පිහිටා ස්භාවවාදයක් දක්වා දුරදිග යන අයුරින්මය. සංවාද භාවිතාව අතින් මෙහි බොහොමයක් දක්නට ලැබෙන්නේ ඍජු (Direct) හා වාර්තා (Reported) කථනයන්ය. ‘මහසෝනලා, කුරුල්ලෝ, ප්‍රාදේශීය ලේකම්ගේ ඩ්‍රයිවර්ගේ පියා, වෘත්තීය සමිති, හැප්පීම, සුපිරි මෙගා පවුල, මෙතරම් ප්‍රශ්න වෙලත් වැඩිහිටි මවක් ගුරුවරියක් ක්‍රියාකරන ආකාරය’ ආදිය අවශ්‍ය තරමටත් වඩා කරුණු ප්‍රත්‍යක්ෂ කිරීම්ය. මේවා අත්‍යාධික (Superfluous) තත්වයන් හා තීව්‍රරකරණ (Intensification) ලෙස නුතන බටහිර විචාරකයින් පෙන්වා දෙති. සරලව කිවහොත් වැඩිපුර කීම නිසා ඒවායෙහි වටිනාකම අඩුවිය. සිදුවිය හැකි විභවතාවක් (Potentiality) ඒවායෙහි ඇතිවග පවසා සාධාරනීකරණයක් දියහැකි මුත් නාට්‍යය අසාර්ථක යැයි බොහෝ ප්‍රේක්ෂක පිරිසකට සිතෙන්නේ නම් ඉහත සඳහනේ යම් වටිනාකමක් ඇත්තේය. අධ්‍යක්ෂණ කාර්යයේදී දෙබස් හි ‘අවශ්‍ය තැන් බරතබා කීම’ නිසිම ආකාරයෙන් සිදුකොට තිබීම වඩාත් පසක් වූයේ ඒ ඒ දෙබසට ප්‍රේක්ෂකයන් දැක්වූ ප්‍රතික්‍රියා හේතුවෙනි.

රාජිතයන් චරිත තෝරාගැනීම (Character Selection) සහ නළුවරණයේදී (Casting) වඩා යෝග්‍ය නැවුම් බවක් මෙවර පෙන්වයි. නව තරුණ නළුවන් හා ඔවුන්ගේ හැකියාවන් හදුනාගෙන ඒවා නිසි අයුරින් භාවිතා කරණු හා හසුරවනු (Blocking) ලැබිණ. එක්වී සිටි නවක නළුවන්ද වර්තමාන හා අනාගත ලාංකීය කලාවට නළුවන්ගෙන් නම් අඩුවක් නොමැති වග යෞවන නාට්‍ය වේදිකාව මෙන්ම නැවත පසක්කොට පෙන්වී.
[ලාංකීය තරුණ හා රාජ්‍ය නාට්‍ය වේදිකාව ප්‍රවීන අධ්‍යක්ෂකවරුන්ට (ටෙලි,සිනමා,වේදිකා) අවශ්‍යඕනෑම ආකාරයක මානවසම්පත සපයන්නක් බව සිහිකර දෙනු වටී.] වඩාත් සාධනීයම චරිත භාවිතාව(Character usage) වුයේ විවිධ ජාතීන්ගේ එකතුවක් ( බර්ගර් / කතෝලික / දමිළ / සිංහල / මුස්ලිම් ) මෙහි දක්නට ලැබීමයි. මොන ජාතිය වුවත් අප සියල්ලන්ම නොදැනුවත්වම මෙකී ජනප්‍රිය ධනවාදී ඛේදයට හසුවන වග රාජිත ඉඟි කරයි.

එසේ නම් මෙකි චරිත නිරූපනයේදී ප්‍රේක්ෂකයින් තුළ ශෝකී වීරයන් වෙනුවෙන් කාරුන්‍යක් (Pathos), අප වෙනුවෙන්ම බියක් (Fear) ජනිත නොවන්නේ මන්ද ? චරිත ද අත්‍යාධික වීම ලෙස හෙවත් අති+අධික ලෙස ප්‍රබල චරිත බවට පත් කරන්නට යාමෙන් චරිත වෙනුවෙන් ප්‍රේක්ෂක මනසෙහි වැඩෙන විශ්වාසනීයත්වය (Reliability) බිද වැටිම එයට ප්‍රධාන හේතුයුක්තියයි. අවසන ඒ ඒ එක් එක් චරිත වෙනුවෙන් අප තුළ ගොඩ නැගුනේ ලුම්පන් චරිත හෙවත් සෝපාහාසත්මක චරිත වෙනුවෙන් ඇතිවන ආකාරයේ සරල හැඟීමකි. ඒ හේතුවෙන් චරිතයන් හි මුවගට නැංවූ ඉතා සාධනීය දෙබස්, නින්දාලාප ලෙසත් ඒවා තුළ උපහාසය මෙන්ම අපහාසයද අඩංගුවී ඇතිබවත් දැනිණ. වාමාංශික පියාගේ ක්‍රියා , උගත් මවකගේ හැසිරීම්, මාධ්‍ය හිමිකරුවාගේ ගතිසොබා මෙකී කාරණාවට උපහැරණය. එසේම කල් තියා ප්‍රේක්ෂකයා හඳුනාගන්නා ක්‍රියා ඇති වට්ටෝරු චරිත (Stock Character) දක්නට ලැබුණි. මාධ්‍යකරුවා, කුරුල්ලා ඒ අතර ප්‍රධාන විය. එසේම රාජිතයන්ගේ මෑතකාලීන නාට්‍යවල දක්නට ලැබෙන විධිවිරෝධී චරිත (Eccenter Character) ලක්ෂණ බොහොමයක් මෙහි දකින්නට ලැබිණ. පූර්ණකාලීනව සිටි වාමාංශික පියෙක් හැසිරෙන ප්‍රධාන ගතිලක්ෂණ, වාමාංශිකයෙක් සමඟ පැනආ ගුරුවරියක් වන මව කරදර ලොරි ගණන් නිවසට පැමිණෙන විටත් පැමිණි පසුවත් හැසිරෙන අකාරය ආදිය විභවතාවක් ඇත්තක් ලෙස කෙසේවත් ගැනිය නොහැක. එසේම අනවශ්‍ය චරිත එහි විය. අනවශ්‍ය චරිත සඳහන් විය. එමගින් සිදු වුයේ ප්‍රේක්ෂකයා තමන් කා වෙනුවෙන් කාරුන්‍යක් ඇති කරගන්නේද යන අවිඥානික පැනයට මුහුණ දී චරිත සමඟ අනන්‍ය නොවී චරිත දෙස උපහාසාත්මක දෘෂ්ටියක් හෙලා සිනහ ව ගෙදර යාමයි. නළුවන් කීපදෙනෙකුම අතිරංගයක් හා ප්‍රධාන ධාරණාව අයාලේ යවන හානිකර රංග (Ham acting) කරණු අප දුටුවෙමු. එවැනි රංග කාර්යයන් ගැලපෙන්නේ වේදිකාවට නොව ටෙලිතීරයටය. නාට්‍ය ගණනාවකට පසු ‘තම මුලික අරමුණට චරිත අභිප්‍රේරණය කිරීම’ අතින් අධ්‍යක්ෂකවරයා සිටින්නේ ‘නළුනිළියන් තමන්ගේ මෙවලම් පමණක්ය’ යන හැඟීමෙන් දැයි පැනයක් රාජිතයන් අපට ඉතිරි කරයි. අනුශාංගික අංගයන්ගෙන් පැහැදිළිවම නාට්‍යට හානියක් කලේ සංගීතය පමණි. නාට්‍ය මෙන්ම සංගීතය ද ජනප්‍රිය භාවිතාවක් බව සැබෑය. නුමුත් ජනප්‍රිය සංස්කෘතියේ ඛේදය පිළිඹිබු කිරීමට සංගීතය සමත් නොවිණ. නාට්‍යයේ දර්ශන වාරයක් වාරයක් පාසා සංගීතය යොදාගන්නේ නම් ඉන් සිදුවිය යුත්තේ නාට්‍යයේ කාර්යයට, ඒ මොහොතේ නාට්‍යයේ හැඟීමට ඉන් හානි වීම නොව එම අවස්ථා වඩාත් ඉස්මතු කොට තීව්‍රර කිරීමකි. මෙවැනි සංගීත භාවිතාවන් හරි මියුසික් (Hurry music) ගනයේ ලා සැලකෙන්නේ මේවා සුලභගනයේ සංගීතය මිස නාට්‍යමය සංගීතය නොවන බැවිනි. ඉන් නාට්‍යයේ හැඟීමට කිසිදු පිටුවහලක් නොවීම ‘මෙය ටෙලිනාටකයක්’ යන හැඟීමට පිටුබලයක් සපයයි. අනෙකුත් සියලුම ශිල්පීන්ට බොහෝ ගරු කරනු වටින්නේ සුසාධිත නාට්‍යයක් ප්‍රේක්ෂකයාට තිලිණ කිරීමට ඔබ ගෙන ඇති අපරිමිත වෙහෙස හේතුවෙනි සහෘදයිනි.

මෙකී වේදිකා භාවිතා සියල්ලම මෙසේම තිබියදීම ප්‍රේක්ෂකයන් අවදි කරවන ශෝකාන්තයක් නිමවීමේ හැකියාවක් පැවතුන නමුත් නාට්‍ය අවසානයේ යලිත් නාට්‍ය නිශේධනීය තැනකට වැටුණි. ඒ කෙසේද යත්, නාට්‍යයේ කාර්යය පරිසමාප්තිය සඳහා හේතුඵල සම්බන්ධයක් (Causality) ඵලාගාමයක් (Effect) අභ්‍යන්තර හා බාහිර ගැටුමක් (Internal & External conflict) රාජිතයන් ගොඩ නගන නමුත් එය හැම විටම වඩවඩාත් අතිච්ජාදනය (Overlap) මගින් පුනරුක්ති බවට පත් වෙයි. නාටකමය කුතුහලය හා ආතතිය වඩවන මුත් එය අප ටෙලිනාට්‍ය රචනයේදී උපයෝගී කොටගන්නා උපක්‍රමයක් වන තරමට දුරදිග යයි. රාජිතයන් තම මූලබීජය වඩාත් ප්‍රේක්ෂකයාට දැනවීමට ගොස් මේ හානිය සිදුකොටගෙන ඇත. හැම නාට්‍යකාර්යයකටම හේතු සැපයෙයි. අනිවාර්ය නිශ්ශබ්දතාව (Effective silence) අවැසිම මොහොතක රචකයා තම නාට්‍යකාර්යයට තවත් හේතුවක් සපපයි. ප්‍රේක්ෂක ආතතිය බිඳ වැටෙයි. කුතුහලය ? . එසේම ගැටුමේ උපරිම තැනකදී නැවත එය කඩාබිඳ (Anti-Climax) දැමෙයි. නාට්‍යයේ අවසාන දර්ශනයට මොහොතකට පෙර වාමාංශික දෙදරු පියා තම දුර්භාග්‍ය ළගා වූ ආකාරය ගැන තම බිරිය සමග වේදනාත්මක හැඟීමකින් කතාකරන අවස්ථාවේ ප්‍රේක්ෂකයා තම ආසනයෙන් මදක් එසවී එයට කන් දෙන්නේ මනාව එකින් ඒක නාට්‍යයේ කාර්යය වර්ධනය වී ආ නිසාවෙනි. නමුත් එය නිසි ආකාරයෙන් ප්‍රේක්ෂක මනසෙහි කාරුන්‍යක් ජනිත කරන්නටත් ප්‍රථම ලිපියක් රැගෙන කතෝලික තරුණයා එතැනට පැමිණ පියාට මෙන්ම සහෘද ප්‍රේක්ෂකයාටත් අවැඩක් කරයි. ගී කියන තරුවක් වීමට වඩා යහපත් ශාස්ත්‍රීය සංගීත වපසරියක් මෙලොව ඇතිවග කිවයුතුය. එහෙත් නාට්‍යයේ ආතතිය වඩවන හොදම තැනක එය කඩා බිඳදැමිය යුතුද ? දෑස් දැල්වූ ප්‍රේක්ෂකයා නැවත නිද්‍රාශීලි වෙයි. ආසනයේ හාන්සි වෙයි. ප්‍රශ්න කන්දක් සිරිවර්ධන පවුල මත කඩා වැටි ඇත. අනතුරුව ඒවායෙහි එක් පංගුකරුවෙකු වන මාධ්‍ය ආයතන ප්‍රධානියා එතැනට පැමිණේ. වාමාංශික පියාගේ, ගුරුවරියක වන මවගේ අවසාන වේදනාත්මක ක්‍රියාව දකින්නට සහෘද ප්‍රේක්ෂකයා උනන්දු වෙයි. නමුත් ඔහුව පිළිගැනෙන ආකාරය, ඔහු පවසන දෑ, ඔහුගේ අවසන් ක්‍රියා කලාපය, ඊට ශෝකාන්ත වීරවරියක් වන මව ප්‍රතිචාර දක්වන ආකාරය හා අවසන් ධනාත්මක චින්තන ව්‍යායාමය ආදිය ප්‍රේක්ෂක හදට ඉතිරි කරන්නේ උපහාසයක් පමණි. ඉන් අත්‍යවශ්‍ය හැඟීම් ආසාධනයක් (Infection) සහෘදයාට ඇති නොවේ. සරල තැනකට ප්‍රේක්ෂක චින්තනය කඩා වැටෙයි. ඉන් ප්‍රේක්ෂකයා යම් අපේක්ෂා භංගත්වයකට පත්වෙයි. ඉන් මෙතෙක් වෙලා අප අභිමුව දිගහැරුණු නාටකය හුදෙක්ම කතන්දරයක් බවට පත් කෙරෙයි.

එවිට මෙම නාට්‍ය ජෝන් ඔර්ටන් (1933-67) හඳුන්වන මානුෂික වේදනා ප්‍රහසනාත්මක බවට පත් කරන අඳුරු ප්‍රහසන (Black Comedy) තත්වයටත් කාලීන ගැටළුවක් මුල් කරගනිමින් සිනා රසය උපදවන හෙයින් 18 වැනි ශතවර්ෂයේ නැගී ප්‍රංශය හා එංගලන්තය ආශ්‍රිතව නැගී ආ ශෝකී ප්‍රහසන(Tearful Comedy) ගනයේ ලා ද සැළකිය හැකිය. නමුදු ඉන් ඔබ්බට යම් ඛේදයක් දේශපාලනමය වශයෙන් සකච්ජා කරන හෙයිනුත් ලාංකීය තාරුණ්‍යයෙ කාලීන ගැටළුවක් ඉතා සුක්ෂම අයුරින් කතිකාවට බඳුන් කිරීමට ගත් උත්සහයෙනුත් මාධ්‍යමපාන්තික ජිවිතයේ අපේක්ෂා භංගත්වය ප්‍රහසනාත්මක ආරකින් ගෙන ඒම නිසාවෙනුත් මෙය ශෝකී ප්‍රහසනවලට පසුව ලෝකයේ නැගී ආ කොමඩියටත් ශෝකාන්තයටත් අතරමැදි තත්වයක පවතින ප්‍රංශ දාර්ශනික Denis Diderot (1713-1784) හැඳින්වූ ‘ධනේශ්වර ප්‍රහසනයක මාධ්‍යමපාන්තික ශෝකාන්තය’ යන්නෙහි ඍජු ලක්ෂණ රැගත් ලාංකීය ප්‍රවනතාවක නිර්මාණකාර්යයක් ලෙස ගැනිය හැකිය. මෙකී ‘ධනේශ්වර ප්‍රහසනයක මාධ්‍යමපාන්තික ශෝකාන්තය’ යන කාරණය නාට්‍ය කලාවේ කෙටි නාට්‍යකරුවන් අතිනුත් තවත් දිගු නාට්‍ය කීපයකිනුත් සාහිත්‍ය කලාවේ කීප තැනකමත් සාධනීය ලෙස සාකච්ජාවට බඳුන් වීම නිර්මාණකරණය අතින් ලාංකීය පරිකල්පනය ලෝක මට්ටමේ ලා සැළකිය හැකි කරුණකි. මුදල් අපේක්ෂාවෙන් තොරව මමත්වයෙන් තොරව “මිනිස් වර්ගයාට යහපතක්ම වේවා !” යන අවංක හැඟීමෙන් කලාවේ නියැලෙන සියලු නිර්මාණකරුවනි, ඔබට සදා ජය !


-ප්‍රනීත් චානක මුරමුදලි-
(Wednesday , 4/5/2015)
(https://www.facebook.com/praneeth.chanaka)

සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

Thursday, March 26, 2015

මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක් (1කොටස)

“තම දරුවා ලොකු මිනිහෙකු, ගැහැණියකු කිරීමට උත්සුක නොවන්න. මන්ද ලොව සියල්ලන්ටම ලොකු මිනිසුන්වීමට බැරිය. නමුත් තම දරුවාගේ දක්ෂතාවයේ උපරිමයට ඔහුව හෝ ඇයව ගෙනයාමට හෙවත් කරනා දෙයින් ලොව උපරිමයට..... යාමට පාර පෙන්වන්න.”
- ඒබ්‍රහම් ලින්කන් -

සංවේගයෙන් දැනුම්දෙන වගනම්, ශ්‍රී ලංකාව නම් සුන්දර දිවයිනේ වෙනත් ශිල්පයක් ඇත්තේම නැතුවාක් මෙන් තරු මානසිකත්වයක් ඇතිකර තරුණ පරපුරේ අනාගතය කියා නොකියා අඳුරේ දැමීම නැවතී නැත. දියණියන්ගේ මව්වරුන්ගේ මෙන්ම නොදනුවත් තරුණයන්ගේ මොලගෙඩි කා දමන වසංගතයක් වූ ‘මෙගා නාට්ටි’ නැවතුනේ නැත. ‘ටක්කු ටුක්කු’ගණයේ බාල ගීත නිපදවීම නැවතුනේ නැත. නිරුපිකා වේශයෙන් සිදුවන ගණිකා වෘත්තීය නැවතුනේ නැත. වැඩකට නැති කටපාඩම් ගිරවුන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය නැවතුණේ නැත. මහාපරිමාණයෙන් සාමාන්‍ය මිනිසාගෙන් කොල්ල කෑ මුදල් ආපසු ලැබුනේ නැත. ඇමතිහොරුන් අල්ලුවේද නැත. සුදුසුකම් නැති පත්වීම් අහෝසි වූවේද නැත. මාධ්‍ය මගින් සිදු කරන බාල ගනයේ, කලාකරුවන් යැයි කියාගන්නා ශිල්පීන් උඩ දැමීම නැවතුනේද නැත. දැනට සිටින, පත්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුවත්භාවය ගැන ප්‍රශ්න නැගුනේද නැත. මාධ්‍ය ආයතනවලට නිසිම සුදුස්සන් පත් වූවේද නැත. ‘බිස්කට්කුඩු’ ආරේ සජීවී ප්‍රසංග කන්දොස්කිරියාව නැවතුනේද නැත. අධ්‍යාපනය ලැබූවන්ට ඊට නිසි තැන හිමිවුනේද නැත. දරුවන්ගේ අනාගතය අදුරේ හෙලන බුද්ධිහීන ගුරුහොරුන් බිහිවීම නැවතුනේද නැත. ගමේ සාමාන්‍ය ජනයාට රටේ මුදල් සමානව බෙදී යන්නේද නැත. සාක්ෂරතාව ඇතත් හොස්ස ළගින් මැස්සා ගිය කල ගහමරා ගන්නා අන්තවාදී උන් බිහිවීම නැවතුනේද නැත. ආර්ථිකය, කලාව, විද්‍යාව, කෘෂිකර්මය ආදී අත්‍යවශ්‍ය දෑ නගා සිටුවීමට ජාතික ප්‍රතිපත්තියක් සැදුනේද නැත. ඇත්තෙන්ම අප සැනසුනා පමණි මිනිසුනේ, අප සැනසුනා පමණි. මෙය සුරංගනා ලොවක් පමණි. ඉදින් තවමත් මෙය මකරෙක් වෙනුවට මකරෙක් රජවන මකරටකි. ඉදින් මේ මකරටෙහි මෙකි මායාකාරී සුන්දර රැවටීමට හසුවන සිරිවර්ධන පවුල් ද බොහෝ වෙති.

"මකරට" වේදිකා නාට්‍යයෙන්.
ඉදින් දැනට ලාංකීය සමාජය අරාජික දේශපාලන තත්වයක මෙන්ම අස්ථාවර සංස්කෘතිකමය වටපිටාවක නිද්‍රෝපගත සතුටකින් තනිපුද්ගල ස්ථානගතවීම් සොයා වෙහෙසෙන ගෝත්‍රික සත්ව කොටසක් බවට පත්වෙමින් සිටිති. මහින්දවාදී යුගයකින් පසු සැනසුමක් තමන්ට ලැබුනේ යැයි සිතමින් සැනසෙන ජනයාට එය එසේ නොවන වගත් මෙකි පාලනය මහින්ද යුගයේම වෙනත් වේශයක් බවත් මතක් කොට දීම වටී. එසේම සමාජීය වශයෙන් ලාංකීය සංස්කෘතික සත්වයා, මහින්ද බෝ කල ‘ලිබරල්ආත්මාර්තයේ තනි ගෝත්‍රිකයා’ ලෙසින් ආරම්භ කල ගමනේ තවත් මංසන්ධියකට පැමිණ අනපේක්ෂිත වංගු සහිත මාර්ගයකට වැටී එහෙත් පරණ සුපුරුදු ගමනේම යෙදෙන ‘රේස්කෝස් මිනිසා’ ව සිටිති. මෙවන් යුගයක ලාංකීය කලා ක්ෂේත්‍රයේ කොන්ද පණ ඇතිව නැගී සිටින්නේ සාහිත්‍යත් , නාට්‍ය කලාවත් යන දෙක පමණි. අනෙකුත් සියල්ලම සාමාන්‍ය මිනිසා අන්දවා තම මඩිහ තර කොට ගන්නා ජනප්‍රිය මානසිකත්වයේ රූකඩ ය. (නවකතාවෙත් ප්‍රහසන නාටක වලත් මෙකි හිත්පිත් අහිමි පිස්සන් බෝවී නැත්තේම නොවේ.).

කවියද ඇතුළුව නාට්‍ය කලාව නම් ස්වාධින කලා ක්ෂේත්‍රය මෙකි ලාංකීය ධර්මතාවන්ට ඍජුවම බලපෑම් කරන්නාවූ නිර්මාණ බිහි කරන්නක් බව සතුටින් දැනුම්දෙනු වටි. ඒ අතරිනුත් මෑතකාලීන සමාජ ආර්ථික ප්‍රවාහයන්ගේ ප්‍රථිපලයක් ලෙස අස්ථාන ගතකල හැකි නාට්‍ය ඇත්තේ අතලොස්සකි. ඉන්දික ෆර්දිනැන්ඩු ගේ ‘කලම්බෝ කලම්බෝ / චාමර ගුරුගේ ගේ ‘What a nice couple’ /  පියල් කාරියවසම් ගේ ‘රහස් උදවිය’ / චමිල ප්‍රියංක ගේ ‘මෙය තුවක්කුවක් නොවේ’ / රාජිත දිසානායක ගේ ‘සිරිවර්ධන පවුල’ / චාමික හත්තලාවත්ත ගේ ‘මකරට’ / ධර්මප්‍රිය ඩයස් ගේ ‘සාදය හමාරයි සල්ලි හමාරයි’ / තරුණ කෙටි නාට්‍යකරුවන් අතරින් බිහිවූ බොහෝ නිර්මාණ / ජෙරොම් එල් දී සිල්වා ගේ ‘වෙළෙන්දාගේ මරණය’ / අනුර ඒකනායක ගේ ‘ජනතාවට හුළං ගහන්න’............... ආදිය ඒ අතර වේ. (එසේ තිර නිගමනයකට එළැඹීමට නිර්ණායකය වන්නේ දේශපාලන අස්ථාවරවීම් මත අදාළ නාට්‍යන් යල් පැන යන තත්වයට පත් නොවීමයි. ඒවා නුතන ලාංකීය මිනිසාගේ ඛේදවාචකය හසු කොට ගනියි. මෙය 2015 දී සිදුවූ පෙරළියත් සමඟ බොහෝ නාට්‍යකරුවන් තම නාට්‍යන්ගේ මුඛ්‍ය හරය සම්බන්ධව මුහුණ පෑ ගැටලුවකි.) එයිනුත් අප නාට්‍ය දෙකක් පමණක් තෝරාගන්නේ ඉහතින් සදහන් කරන්නට යෙදුණු සමාජ ආර්ථික කරණා හේතුකොටගෙනය.

‘බැලූබැල්ම’ට චාමික හත්තලාවත්තගේ ‘මකරට’ කොපියකි. පාසල් නාට්‍ය කලාව තුළ ළමුන් අතර රුසියානු නාට්‍යකරු එව්ගිනි ශ්වාට්ස්(Evgeny Shvarts)ගේ The Dragon ජනප්‍රිය නාට්‍යකි. ඇත්තෙන්ම එය සුප්‍රසිද්ධ බටහිර සුරංගනා කතාවක්. ජන කතාවක්. ‘කලාව තුල කොපි කිරීමටත් අනුකරණය කිරීමටත් පිළිවන්’නැයි කියනු ලැබේ. ආදී ග්‍රීක කාව්‍ය මෙන්ම ග්‍රීක රෝම නාට්‍යද එකී මතයට සාධාරණීකරණයක් සපයයි. තම උපුටනය (Quotation) සඳහන් කිරීම නාට්‍යකරුවා හෝ ප්‍රබන්ධකරුවාගේ යුතුකමක් බව මතක් කරමින් චාමිකයන් තමන්ට ‘මකරා නම් ප්‍රබන්ධ කතාව’ හස්වූ සෑමතැනක් ගැනම සදහන් කිරීමට නාට්‍ය තුළින්ම කරුණු සපයා ගනියි. අපට නම් 1944 තරම් ඈතක බිහිවූවක් වූ ‘ශ්වාට්ස්ගේ මකරා’ ස්වාත්මිකරණයකින් (Empathy or Identification) ඔබ්බට ගොස් (මකරටෙහි වේදිකා භාවිතය / බලන්න ;- බූන්දි "2014 රාජ්‍ය නාට්‍යඋළෙල හා දිගුනාට්‍ය හටන" ලිපිය) ප්‍රේක්ෂක බුද්ධිය අවදි කරන්නක් වූ තදාත්ම විඝටනයක් හෝ වීර කාව්‍ය ( Epic ) ගණයෙහි ලා ‘චාමිකගේ මකරා’ ලෙස වැඩි දියුණු කිරීම යන සාධකයම නාට්‍ය වර්තමාන සමාජය තුලින් නැග ආ අනුභූතිමය (Because of Experience) නිර්මාණ කර්තව්‍යක් බවත් එය මෑතකාලීන දේශපාලන සන්දර්භය පිළිබඳව චාමික තම නාට්‍ය ප්‍රේක්ෂකයාට 2014 දී විවෘත මනසකින් කල  දුරස්තීකරණ අනාවැකියක් බවත් පෙනේ. මේ ආරයකට වැදගත්ව තිබූ යම් මූලබීජයක් තම දේශයට අදාළ ලෙස සකසා ගැන්ම නිසාම අනුකරාත්මක නාට්‍ය (Travesty plays) ගණයෙහිලා සැලකිය හැකි මෙහි කාලයක් මුළුල්ලේ වැඩෙන සමාජ සන්දර්භයන් සූක්ෂම දෘෂ්ටිමානයකට හසුකරයි. ඇත්තෙන්ම එය අනාවැකියකි. ලෝක ඉතිහාසය විමසු විට රටක දේශපාලනමය එළැඹිම් සම්බන්ධයෙන් ජෝතිෂ්‍යකරුවන්ට වඩා වෙසෙසින් නාට්‍ය හා කවිකරුවන්ට ඇත්තේ ප්‍රත්‍යක්ෂ හැකියාවකි. මන්ද ඔවුන් ක්‍රියාකාරීව පොදුජන දුක හා ක්‍රියාකාරකම් සම්බන්ධ දෑ අත්විඳින බැවිණි. ඉතිහාසය හදාරණ බැවිණි.

චාමික නාට්‍ය ආරම්භ කරන්නේම කහකලු පටියකින් හතරවන බිත්තිය ( Fourth wall) හෙවත් ප්‍රේක්ෂකයාගේ බිත්තිය වටකොට වේදිකාවට හෝ වෙනයම් අවිනිශ්චිත තැනකට ඍජුව ඇතුල්විමක් තහනම් කරමින්. එය මදකින් පිස්සන් කොටුවක් බවත් (ලංකාව ලෙස ගැනිය හැකි) එහි කෝලමක් (මේ වනවිට ලංකාවේ  සිදුවෙමින් පවතින) නැටීමට නියමිතව ඇති බවත් ප්‍රේක්ෂකයා දැනුවත් කරයි. මෙහි කථිකයෙක් යොදාගන්නේ ඇයි ? කෝලම් සම්ප්‍රදාය නිසාද ? පැවති නාට්‍යකට නව මුහුණුවරක් දීමට ලේසිම විදිහ බ්‍රෙස්ට් ගාවා ගැනීම නිසාද ? තමන් සංකීර්ණ කරගන්නට යන කතාව ප්‍රේක්ෂකයාට පහදා දිමටද ? නැත්නම් ඉහත කී මකරටෙහි සුරංගනාසත්‍ය පහදා බුද්ධිය අවදි කිරීමටද ? මේ සියල්ලමද ? අධ්‍යක්ෂකවරයා කුමක් සිතුවත් සහෘදයෙකු ලෙස අප එය ග්‍රහණය කරගත යුත්තේ ලාංකීය සමාජයේ වෙසෙන්නෙක් ලෙස නොවේද ? පාරම්බාමින් පරිවර්තන/අනුවර්තන ගෙඩි පිටින් බා ගන්නා නාට්‍යකරුවන් නොවන නාට්‍යකරුවන් මැද ‘මකරට’ සාධනීය අනුකාරක අනුවර්තනයක් ලෙස ගැනිය හැක. මෙහි බොහෝ තැනක නාට්‍යමය උත්ප්‍රාසය (Dramatic irony) අවස්ථානුරූපීව ගළපන අයුරු පෙනේ. ‘එකෝමත් එක රටක/සෞභාග්‍යමත් රටක’ යනුවෙන් සඳහන් කරමින් පිස්සන් කොටුව පාර්ලිමේන්තුවට සමාන කොට කහකලු ඉරිවල වැදී කථිකයාට මදක් හොද සිහිය ගෙනෙයි. කහකලු පටිය කපා දැමෙයි. දැන් මේ ශ්‍රී ලංකාව නම් පිස්සන්දීපයේ මහජනයාටත් නැටීමට හැකි කෝලමකි. වේදිකාවේ විවිධ දෙසින් මහජනපිස්සන් ඇතුල් වේ. රටේ නමගිය කලාකරුවන්ද පිස්සන්ය. දේශීයත්වයේ කෝලම් තාල රිද්මයෙන් තොර පිටස්තර තාලයක (out tempo) ගිලී පාත්‍රයින් වේදිකාවට එති. එය තමා නොදන්නා තම ජිවිතයට අදාලම නැති ජිවන රිද්මයක හැසිරෙන ලංකාවාසීන් සිහි ගන්වයි. දේශීය සංගීතයෙන් පසු හිටිහැටියේ බටහිර ආරක සංගීතය යොදාගනිමින් එය වඩාත් තීව්ර කෙරේ. ( ළහිරු මාඩිවිල නම් තරුණ සංගීතකරුවා ‘මකරට’ පුරාවටම සපුරන්නේ සුළුපටු ආස්ථානයක් නොවේ. ශ්‍රවණ හෙවත් නාද විද්‍යාව (Acoustics) පිළිබඳව මාඩිවිලට අධ්‍යනයක් ඇති? ෂෙල්ටන් ප්‍රේමරත්න?) ඇත්තෙන්ම එය නාටකමය ව්‍යාජයෝක්තිය සඳහා සංගීතමය උත්ප්‍රාසයක් (music irony) හා වාචිකමය අනියම් අයුරක් (verbal irony) උපයෝගීකොට ගැන්මක් වැන්න. එය වඩාත් ඵල දරන්නේ ‘අපිට අපි නැතිවෙලා, නෑ. රටට රට නැති වෙලා, නෑ / යුද්ධය ’ වැනී ගීතයකිනි.  වේදිකාවට ගෙනෙන පාත්‍රයින් තුළින් පවා අදාළ අනුභුතිමය ප්‍රකාශනය වඩා සාධිත කරගැන්මට චාමික සමත් වෙයි. මනෝරත්නයින් තම ‘සෙල්ලම් නිරිඳු’ ප්‍රකාශනය සඳහා නාඩගම උපයෝගී කොටගෙන යම් පසුබෑමකට ලක්වන්නා සේ නොව චාමික තම ‘මකරට’ සඳහා නිසිම උකහා ගැන්ම ‘කෝළම’ බව පසක් කොට පෙන්වයි. හේවාරාල, ජසයා, අනාවැකිකරුවා, කම්මල්කරුවා, ලෙන්චිනා, දරුවා, රෙස්ලින්කරුවා, වීරයා, දුෂ්ටයා, මහජනයා, පෙම්වතිය, සහයකයා ආදී සමාජතරාතිරම් නිරූපණය සඳහා රචකයා තම පිටපත තුලින්ම අවශ්‍ය නිදහස හා නාට්‍යානුරූපී ගැළපීම සපයා ගැනීම පහන් කරුණකි. ක්ෂණික එක්කිරීම් (Ad lib) පිරි පවතින හිටිවන රංගයක් (impro;theatre) දෝයි සිතෙන තරමටම පැටලිලි රංග (Imbroglio) බොහෝමයක් ද ගමන් විධි හා චලන (ප්‍රධාන 7 මෙන්ම) තම රූපණ ප්‍රදේශය පුරා සංයමයෙන් නළු රංගාවතරණය (Blocking) හැසිරවීමද දක්න ලැබිණ. ඊට සාවද්‍ය ප්‍රබල රංගනයක් (Actor-proof) හෙවත් පෙළෙහි ප්‍රබලත්වයක් ඇතිබව හේතු වූවා වියහැකිය. එපරිදිම ‘Try to do your business as best as possible’ යන ජනප්‍රිය අධ්‍යක්ෂකවරුන්ගේ කියමන මකරටෙහි නළුනිළියන්ගෙන් දෘශ්‍යමාන වේ. අතුරු ජවනිකාවන් (Carpenter’s scene) හි රංග කාර්යයන් හා රංග සම්මුතීන් (Convention) පිළිබඳව දක්වන උපහාසාත්මක අභිනයන් ඊට යුක්ති සපයයි. නවකයින් හා පාසල් ළමුන් වෙනුවෙන්ම සැකසු නිර්මාණාත්මක රංගෝපක්‍රම බොහෝමයක් දක්නට ලැබුණු අතර ඒවා කිසි ලෙසකින්වත් ආයාසායාත්මක ලෙසකින් වේදිකාවට නොආවේය. වේදිකා රංගෝපක්‍රම (Theatrical effects) යොදාගැන්ම අතින් අධ්‍යක්ෂකවරයා අනාගතය ගැන යම් සාධනීය ඉඟි සපයයි. ප්‍රදීප් චන්ද්‍රසිරි භාවිත කරගෙන තිබූ බහුවිධ රංග පසුතලය (Multiple set) ඔහුගේ වේදිකා අත්දැකීම් ප්‍රමාණයත් එහි කූටප්‍රාප්තියත් පෙන්වන්නකි. රංග වස්ත්‍ර නාට්‍යකාර්ය සාධනයට මනා පිටිවහලක් සැපයයි. ජනප්‍රිය නළුවන් යොදාගනිමින් අනවශ්‍ය වටිනාකමක් ආරූඪ කරගැන්මට තැත්කිරීම, බොහෝ රංග කාර්යන් සාධනය කරගැන්මට ගොස් සාධිත බව ගිලිහි යාම හා දර්ශන සැලසුම් (Scenography) ගිලිහීයාම, රංග වින්‍යාස ගොඩනැගීම මඳ වීම, බොහෝ විකට විරාමයන් (Comic relief) හේතුවෙන් ඒකීය ධාරාවට හානි පමුණුවා ගැනීම, රංගාලෝකයේ නිශ්චිතම එළැඹුම හඳුනා නොගැනීම ආදී ප්‍රාථමික කාරණා කීපයක් හේතුවෙන් සුසාදිත නාට්‍යක ස්වරූපය ගිලිහී යයි.

චාමිකගේ මේ එළැඹුම පෙරමුණ රැගත් නාට්‍ය (Avant Garde drama) හෙවත් නව ප්‍රවණතා රැගත් නාට්‍ය ව්‍යාපාරයක් ලෙස ලාංකීය නාට්‍ය ක්ෂ්ත්‍රය තුළට අන්තර්ගත කල හැකිය. ජනප්‍රිය වීර කතාව සාධනීය ලෙස ලාංකීය සමාජ සන්දර්භය තුල අස්ථාන ගත කෙරෙයි. සාමාන්‍ය ජනයාගේ පිහිටෙන් නිලධරයන්ගේ උදව්වෙන් මකරා මරා වීරයා රජ වෙයි. අනාවැකියේ හොදම එළැඹුම මෙතැන පිහිටයි. අනතුරුව වීරයාගේ පාලන සමය පැමිණේ. ගගනිකාව උපයෝගීකොට ගනිමින් සෙවනැලි නාටක ප්‍රවේශයක් මගින් චාමික තමන් අත්දකින දෑ ගෙනහැර පායි. කාලය ගෙවී යයි. වීරයාට තනිව තීරණයක් ගත නොහැක. ඔහු වටා පිරිසක් සිටියි. මකරා, පුරුදු වීරයා පසුපස එයි. වීරයා මකරා වෙයි. මකරා වීරයා වෙයි. පැටලිලි සහගතය. මේ, මේ මොහොතේ ශ්‍රී ලංකාවයි.

ඉතිං මේ මකර ලංකාවේ සිරිවර්ධන පවුල් ද බොහෝ වෙයි. ඒ කෙසේද යත්,
                                                                                                        මතුවට..!      

-ප්‍රනීත් චානක මුරමුදලි-
(Wednesday , 25/3/2015)
(https://www.facebook.com/praneeth.chanaka)

සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

Saturday, July 26, 2014

තරුවක් වෙයං සුදේශ්...

තව සතියකින් නිහඬව අමතක වන්නට නියමිත සුදේශ් පීරිස් ක්‍රීඩකයා වෙනුවෙනි..

සුද්දා ලංකාවට ආවේ ය.. ඇවිත් තේ වැවුවේ ය.. තේ වවා නිකං හිටියේ නැත.. වත්ත වටේට සුදු ජාන ටිකක් ද දන් දී ගියේ ය.. අපේ එව්වෝ සුද්දාගේ ජාන ආඩම්බරෙන් බාරගත්තා සේ ම, සුද්දා අපට දී ගිය තවත් බොහෝ දේ ආඩම්බරෙන් බාරගත්තෝ ය.. ඉන් එකකි, ක්‍රිකට්.. අප ක්‍රිකට් ගහන්නේ ක්‍රිකට් ලොකු නිසා නොව, ක්‍රිකට් ගැසීමෙන් වත් අප ලොකු විය යුතු නිසා ය.. ලංකාවෙන් බොහෝ දෙනා ක්‍රිකට් වලට ආදරය කරන්නේ ද වෙන කිසිවක් නිසා නොව, ලෝකයේ ලංකාව කියා එකක් ඇති බව මිනිස්සු ටික දෙනෙක් හෝ දන්නේ මේ ඇබින්දන් සෙල්ලම නිසා බැවිණි.. 
link - http://goo.gl/GcnasU
 ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්දැයි අද පහ වසරේ පොඩි එකෙක්ගෙන් ඇහුවොත් ඌ ටක්කෙටම කියනු ඇත්තේ ඒ ක්‍රිකට් කියා ය.. ඒ තරමට අපට ක්‍රිකට් ලොකු ය.. ප්‍රශ්නය ක්‍රිකට් ලොකු කරගැනීම නොවේ.. ක්‍රිකට් නිසා අනෙක්වා පොඩි කර සැළකීම ය.. ක්‍රිකට් වලට අම්මගෙ හැන්දෙනුත්, අනෙක් ක්‍රීඩාවන්ට කුඩම්මාගේ හැන්දෙනුත් බෙදීම ය..

ටික දිනකට පෙර මරියා ෂරාපොවා නම් ලෝක ප්‍රසිද්ධ ටෙනිස් තරුව විසින්, තමා සචින් තෙන්ඩුල්කාර් කියා කෙනෙක් දන්නෙ නැතැයි කියූ විට ඉන්දියන්කාරයින්ට නහුතෙට මළපැන, අම්බානක වයර් ෂෝර්ට් වී, තිස්තුන්දාහට ෂොක් වී අන්තර්ජාලය පුරා විකාර නැටු හැටි අපි ආතල් ඒකෙ බලා සිටියෙමු...
එහෙත් උන්ට හිනාවෙන ගමන් ම අප ඒ හිනාවෙන්නේ අපටම බව අපෙන් කී දෙනෙකුට වැටහුණාද යන්න වෙනම ප්‍රශ්නයකි.. තෙන්ඩුල්කාර් ඉන්දියාව ඇතුළු ටෙස්ට් ක්‍රිකට් ගහන රටවල් දහයකට සහ ජොලියට වගේ සෙල්ලම් කරන තවත් රටවල් පහළවකට ලොකු වුණාට, මරියා ෂරාපොවා සෙල්ලං කරන තලයට ලං වෙන්නට තබා හිතන්නටවත් තෙන්ඩුල්කාර්ට හැකියාවක් නැත.. වැරදිලාවත් ලෝකයේ රගර් සහ ෆුට්බෝල් ගහන රටවල් සේරම ඒ සෙල්ලම නවත්වා ක්‍රිකට් ගහන්නට පටන් ගත්තොත් අපට මොනවා වේවිදැයි මහාචාර්ය නලින් ඩි සිල්වාණෝ වතාවක් දිවයිනට ලියමින් අසා සිටියේ ය.. (ඉඳහිට හෝ මහදුරු නලින්ගෙන් ඔහොම හොඳ කතාවක් ද කියැවෙන්නේ ය..) 
link - http://goo.gl/dlC4FB
ඇත්තටම අපට ක්‍රිකට් ලොකු සෙල්ලමක් වන්නේ, ක්‍රිකට් යනු මහා ලොකු සෙල්ලමක් නිසා නොවේ.. ලෝක පාපන්දු තරගාවලියකට වියදම් කරන මුදලෙන් කාලක්වත් ක්‍රිකට් තරගයකින් සංවිධායකයින්ට ලැබෙන්නේ නැත.. අප පොඩි නිසා අපට ලොකු වුණාට, ක්‍රිකට් යනු ජාත්‍යන්තර තලයේ දී අන්වීක්ෂීය ක්‍රීඩාවකැයි යන සත්‍යය පිළිගන්නට අප තාමත් සූදානම් නැත.. මේ සෙල්ලම අපට පමණක් ආවේණික එකක් නොවේ.. අපේ කලාපයේ බොහෝ රටවලට පොදු එකකි.. ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව වන හොකී ක්‍රීඩාවෙන් රටවල් හැට ගණනක් පරදවා ලෝක තලයේ පදක්කම් ලැබූ ක්‍රීඩා ශූරිය සිය දරුපවුල රකින්නට මහමග සිල්ලර බඩු විකුණන්නේත්, යාන්තං රටවල් දහයක් පරාජය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හමුදා උත්තමාචාර ලැබෙන්නෙත් ඒ නිසා ය..

සුදේශ් පීරිස් මචං.. උඹට බොහෝම ආදරෙන් කියන්නට ඇත්තේ එක දෙයකි.. ඊයේ උඹ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගවලින් බර ඉසිලීමෙන් ලෝකයේ රටවල් 106ක් අතරින් කිලෝග්රෑම් 62 A බර පංතියෙන් රිදී පදක්කම දිනු බව බොහෝ දෙනා දන්නෙ නැත.. කොටින්ම මේ ලියන මං දන්නෙත් නැත.. මට ද ආරංචිය කීවේ මගෙ ඔෆිස් එකේ බුවෙකි.. ඊටත් වැදගත්ම දේ ඕක තව සතියකට එහා කාටවත් මතක තියෙන්නේ ද නැත.. ඒ නිසා 2011 ඇතන්ස් ඔලිම්පික් උළෙලේ දී මීටර් 600 සහ 1200 ලෝකඩ පදක්කම් දෙකක් දිනා, අද ජීවත් වන්නට සල්ලි නැතිකමට මහමග පානිපූරි විකුණන ඉන්දියාවේ සීතා සාහුට හෝ නැතිනම්, 2008 දී ඉලක්කයට විදීමේ ලෝක මට්ටමෙන් රිදී පදක්කම දිනා, ඊට පසු වැස්සට කඩා පාත් වුණු තමාගේ ගේ හදාගන්නට මුදල් නැතිකමට දුන්න විකුණන්නට සිදු වූ නිශා රාණි දත්තා ට සිද්ද වූ දේ උඹට සිද්ද වෙන්නට පෙර, ඉක්මණට උඹත් ස්ටාර් කෙනෙක් වෙයං කියා ය..

අද රාත්‍රියේ සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් අතරට අද රාත්‍රියේ රියල් ස්ටාර් කෙනෙකුද බිහිවනු ඇත.. සියක් දහසක් ජනී ජනයා ඒ දෙස බලා අත්පොළසන් දෙනු ඇත.. එහෙත් ඊයේ ලොවක් දිනු උඹ වෙනුවෙන් අත්පුඩියක් ගහන්නට පහළොස් දෙනෙක් හෝ නොසිටිනු ඇත.. ඒ නිසා ඉක්මණට තරුවක් වන තරමට උඹට ඇඟට ගුණ ය..

ප/ලි. විශේෂ ස්තුතිය ආරංචිය දුන් එකාට (උගේ නම කියනවාට ඌ කැමති නැත..) සහ ආරංචිය තහවුරු කළ දමිත් කේතක හට...


-චමීර දෙද්දුවගේ-
(Saturday , 26/7/2014)
(https://www.facebook.com/cjdrox)


සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

Friday, June 13, 2014

උරුමයක කරුමය

ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1492 වසරේදී ඇමරිකාව සොයාගන්නා විට ලංකාවේ තිබී ඇත්තේ කෝට්ටේ රාජධානිය වන අතර වීර පරාක්‍රමබාහු viii ගේ පාලන කාලය විය. අද වන විට නන් දෙසින් පැමිණි පෘථිවි වාසීන් ගේ එකමුතුවකින් සැදුම් ලත් ඇමරිකාව ලෝකයේ ප්‍රධානම බලවතා වී සිටි. මේ සිංහල අපගේ රටේ උපන් මිනිස්සු බුරුතු පිටින් ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරමින් එහි යාමට පෙරුම් පුරති. හැකි හැම කෙනාම මේ රට හැර යති.
1901 ජනවාරි 1 වෙනිදා ඔස්ට්‍රේලියාව නමැති රාජ්‍ය බිහිවිය. අද වනවිට වසර 100ක් ගතවී තවත් වසර 13 ගෙවී ගොස් ඇත. ලොව නන්දෙසින් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් ගෙන් ඇරඹෙන මේ රාජ්‍යය, අදත් එම ප්‍රතිපත්ති වලම පිහිටා සිටිමින් ලොව සතරදික් භාගයෙන් පැමිණෙන පෘථිවි වාසීනට වාසස්ථාන ලබාදේ. ඔස්ට්‍රේලියාව ආර්ථික ස්ථාවරත්වයක් ඇති ලොව ප්‍රභල රටවල් වලින් එකක් වන අතර ඔස්ට්‍රේලියානු ඩොලරය ලොව ශක්තිමත් මුදල් ඒකක වලින් එකක් ලෙස සැලකේ. වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති මේ සිංහල අපගේ රටේ වැසියන් දිවි පරදුවට තබා බෝට්ටුවල නැගී එහි යන අතර වෘත්තිකයන් තම සුදුසුකමට අනුව රස්සා සොයාගන එහි යති. ඔවුන් කිසි විටකත් මේ සිංහල අපගේ රටයි කියා මෙහි නතර නොවෙති.කොරියාව කම්කරු රස්සා කරන්න එහෙ එන්න කිව්වම ලංකාවේ තරුණ පරපුරම ඒ සඳහා ඉදිරිපත් වෙති. යුරෝපයටත් යන්නේ ද ආයෙත් මේ සිංහල අපගේ රටේ පස් පාගන්නට වත් නොලැබේවා කියා හිතමින්ය.

සැමගේ ඉල්ලීම් ඉතා සරලය. රැකියාවක්, ජිවත් වීමට සුදුසු තැනක්, තම දරුවන්ට අනාගතයක්.
ඒ කියන්නේ ලෝකෙන් උතුම් රටේ මේ කියන කිසිවක් නැහැ කියන එකද?

එහෙම වෙන්නට කුමක් හෝ අවුලක් මේ සිංහල අපගේ රටේ තිබිය යුතුය. එහෙනම් මොකක්ද මේ අවුල. සරලව කියතොත් මේ සිංහල අපගේ රට හරියට වටේට කැටයන් ඇඳපු ඇතුලත සතේ කාසි පිරුන කැටයක් වැනිය. තවත් විදිහකට කියනවා නම් මගුල් ගෙදරක කපන වටේට අයිසින් දාපු ඇතුල රෙජිෆෝම් වලින් හදපු කේක් එකක් වැනිය. මේ රටේ තමන්ට කියා අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට කිසිවෙකුටත් නොහැකිය. අනුන් දෙන තොප්පිය දාගන අපි ජීවත්වෙමු. අපට ඕන දේ කාල බීල අපට ඕන විදිහට ඉන්නට හැමෝම කැමතිය. අද ලංකාවේ දේශප්‍රේමී යැයි කියාගන්න අන්තවාදී ආගමික සංවිධාන සාමාන්‍ය මිනිසාගේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ල කර ඇත. අද විතරක් නොව මුළු ඉතිහාසය පුරාවටම ලංකාවේ මෙවැනි අන්තවාදී ,ජාතිවාදී, ආගම්වාදී සංවිධාන වල බලපෑම සාමාන්‍ය ලාංකිකයන්ගේ මනස තුලට කා වැදී ඔවුන්ව දැඩි පීඩනයකට ලක් කර ඇත. මේ සිංහල අපගේ රටේ මහා ලොකු උරුමය රටවැසියාගේ කරුමය බවට අද පත්වී ඇත. සැනසුම ලඟා කරගැනීමට ඉවහල්වන බුදුදහම පවා විකෘති කොට රටවැසියන් පෙළීමට භාවිතා කරන අවියක් කොට ඇත. කොහේ හෝ ගොස් මානසික නිදහසක් ඇතුව ජීවත්වීමට සුදුසු වාසස්ථානයක් මිනිස්සු සොයා යන්නේ එබැවිනි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිසුන් හොයන්නේ එයයි. රටේ එකිනෙකා අතර එකමුතුව වෙනුවට කෙලගැනිමට අවශ්‍ය පදනම මේ අන්තවාදීන් සාදමින් සිටී .අසල්වැසියාගේ ආගම , ජාතිය , කුලය මත පදනම්ව ආශ්‍රය කලයුතු බවට බලපෑම් කරයි. බොන්න ඕන එකාට බොන්න තිබිය යුතුය. කොටට අඳින්න ඕන ඒකිට ඒකට ඉඩදිය යුතුය. ගස් ගල් අදහන්න කැමතිනම් ඒ සඳහාද නිදහස තිබිය යුතුය. ජාතින් සියගණනක් එක්ව තැනූ ඇමරිකාව , ඔස්ට්‍රේලියාව ලොව බැබලිමටත් මේ සිංහල අපගේ රට පජාත වීමටත් හේතුව දැන් හෙවියයුතුය. ලංකාව බහුජාතික බහු ආගමික රටක් බව, කැමති උනත් අකමැති උනත් තේරුම් ගතයුතු සත්‍යයකි. නමුත් අපි හැම ශ්‍රී ලාංකිකයන් යැයි කටක් හැර කීමට හැකිනම් අපටද ලොව ප්‍රභල ජාතියක් වීමට හැකිවනු ඇත. අද ඇත්තේ සැබවින්ම කුමන්ත්රණය. අපි එදා මෙන්ම අද දවසේත් මේ කුමන්ත්‍රණ වලට හසුවෙමු. මෙවැනි අවජාතක සංවිධාන තිබෙන තුරු මේ රටට අනාගතයක් නැත. තලේබාන් , බෝකා හරාම්, අල් ඛයිඩා , ජෙහාඩ් වැනි අන්තවාදීන් සිටින රටවල් අතරට ලංකාවද නොදුරේදී එක්වනු ඒකාන්තය.


-චාමර ජනරාජ් පීරිස්-
(Friday , 13/6/2014)
(https://www.facebook.com/chamarajm)


සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

විවාහය සඳහා ගණිකාවක් සොයමි.

මේ.., අවුරුදු දෙක'තුනකට කලිං හරක බුකියේ දාපු ස්ටේටස් එකක්.
ඒකත් එක්ක වෙච්චි පොඩි සිද්දියක් ලියන්න හිතුනා.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
විවාහය සඳහා ගණිකාවක් සොයමි.

සමාජය විසින් ඔබව හඳුනාගන්නේ හිගන්නියකගේ සිට එග්සෙකටිව් තනතුරක් දක්වා ඇති කුමන නමකින්'ද ? නැත්නම් ගණිකාවක් නමින්'මද ? ඒ කෙසේ වුවත් කම් නැත. ඔබ ගණිකාවක් නම්, මේ අවස්ථාව ඔබටයි.

ඔබේ ආගම කුමක් වුවත් කම් නැත. කුලය කියා දෙයක් මා දන්නේ'ද නැත. උස/කොට , කළු/සුදු , කෙට්ටු/මහත , කැත/ලස්සන හෝ ඒ අතර තත්වයන් කිසිවක් සලකා නොබැලේ. දැරියක'ද , මැහැල්ලක'ද නොවී ලිංගිකව සක්‍රීය නම් හොඳටෝම ඇතිය.

දේපොළ තිබීම අනවශ්‍යයි. දෑවැදි තබා සත 5ක්'වත් අවශ්‍ය ද නැත. මට නිවසක් හිමි බැවින් විවාහයෙන් පසු එහි වාසය කල හැක. ඊට අකමැති නම් එය විකුණා දමා ඔබත් මමත් කැමති සුදුසු තැනක පදිංචියට යාමට ද කැමැත්තෙමි.

ඔබ, යහන් ගත වූ හෝ යහනකින් තොරව යහන් ගත වූ (හිටගෙන, පේමන්ට්, කඩපිල්, පැදුරු, ටොයිලට්, බාත්'රූම්, ත්‍රීවීල්, ලෑන්ඩ්'කෘසර් ආදිය..) හෝ ආදරය කල හෝ ගනුදෙනුකරුවන්'ගේ හෝ "ගණන" කීයදැයි දැනගැනීමට අවශ්‍ය නැත. සොයා බලන්නේ ද නැත.

විවාහයෙන් පසු ද ඔබේ වෘත්තියේ නියැලීමට අවශ්‍ය නම් ඊට ද කිසිදු බලපෑමක් නැත. කොටින්ම මෙය එකට ජිවත් වෙමින් දුක'සැප බෙදා ගැනීමේ එකඟතාවයක් මිස, විවාහයේ නාමයෙන් සවිඥානිකව හෝ අවිඥානිකව නීති දමා රුචි'අරුචි'කම් තමන්ට අවශ්‍ය පරිදි සීමා කරමින් සහකාරිය පාලනය කරන හෝ ඇය යටතේ පාලනය වීමේ මනස්කාන්ත ඊනියා "විවාහ බැඳීමක්" නොවන බව සලකන්න.
දැන්වීමක් නිසා ඊට "විවාහය" යන වචනය පාවිච්චි කලද, එවැනි "ඩීල්" එකක් නොව ඊට එහා ගිය තේරුම් ගැනීමකින් එක්වීමට කැමති නම් වඩාත් මනාපය.

ඊයේ'පෙරේදා ලබාපු සිකුරු'ගේ සිට අල්ලපු චක්‍රාවාටයේ කේතු දක්වා සියල්ලෝම භ්‍රමණය වන්නේ ඔබ වටා බව දනිමි. එම ග්‍රහයින් මට අදාල නැත. එමෙන්ම, කේන්දර වල සිටින ග්‍රහයන් වටා මම ද භ්‍රමණය නොවෙමි. එබැවින් කේන්දර ද සලකා නොබැලේ.

ඉහත දැක්වූ අදහස් හා කරුණු විවාහයෙන් පසුද දශමයකින්'වත් වෙනස් නොකරමි.

මම අවු.25ක තරුණයෙකි. ප්‍රිය කරන්නේ ස්ත්‍රීන් බැවින් ද ගණිකාවක හා විවාහ වීමට කැමැත්තක් ඇති බැවින් ද ඔබ ගණිකාවක් වීම හොඳටෝම ප්‍රමාණවත්ය. විහිලුවට inbox නොකරන්න.

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
හරක මේ දැන්වීම බුකියේ ස්ටේටස් එකක් විදිහට දැම්මෙ, ඒකෙ ඉන්න මිතුරා'ගේ සිට අපතයා දක්වා පිරිස මේ වාගේ දැන්වීමකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියල බලන්න තිබ්බ ආසාවට...
අම්බෝ'ඕඕඕඕ....... ඒකට ලැබුණු කමෙන්ට්ස්, මැසේජස් තොගේ....
සමහරුන්ට හරකව මාරම පොරක් වෙලා තිබුණා. සමහරු "පිස්සු විකාර දාල පොරක් වෙන්න හදන්න එපා" කියල කුණුහරපෙන් බැන්නා. හරකාගේ ජීවිතේට වෙන්න යන හානිය ගැන මිතුරු උපදෙස් වැක්කෙරුනා. තමං හිතෙන් කොහොම එකෙක් උනත්, සමාජෙට පෙන්නගෙන ඉන්න පත්තිනි රාමුව නිසා ගොඩනැගුනු ගර්වයට මේ ස්ටේටස් එක පහරක් වෙච්චි මිතුරෝ කීපදෙනෙක් වගේම මිතුරියෝ රොත්තකුත් මැසේජ් කරමින් වාද කරන්න ගත්තා , තරහා උනා.
නිරුවත වහං ඉන්න පුහු සදාචාර රෙද්ද ඔලුවෙන් ගලව'ගෙන හිතන්න බැරි සමහරු පන්සිල් රකින හැටිත් උගන්නගෙන ආවා.

ඔය ඔක්කොම අතරේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති කෙනෙක්'ගෙන් මැසේජ් එකක් ආවා.
"මගේ වයස 27යි. ඔයාගේ නෝට් එක මං කියෙව්වා. ඔයාගේ පේජ් එක බොරු එකක් නෙමෙයි කියල බලද්දී පේනවා. අරක දැම්මේ ඇත්තටද ? ඇත්ත නං චැට් කරන්න. මේ පේජ් එක බොරු එකක්. ඇත්ත විස්තර පස්සේ කියන්නං. මං ඒ ජාතියේ කෙනෙක්"

හරක දවස් කීපයක් චැට් කරා. ඇත්තටම ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් මේ ස්ටේටස් එක දැකල කතා කරාවි කියල හරක නිකමටවත් හිතුවේ නෑ. නමුත් මේ සිද්ද වෙන්නේ ඒක කියල තව තවත් ඈ සමඟ කතා'බහ කරද්දී තේරෙන්න ගත්තා.
ඈ ඇගේ ඇත්ත තොරතුරු හරකට කිව්වට පස්සේ, ඒ ගැන හොයල බලද්දී ඒවා ඇත්ත.
අපි දිගටම කතා කරා. කෝල් කරා.

මාසයක්'හමාරක් ගත වෙද්දී හරක එක්ක කතා'කරේ ගණිකාවක් නෙමෙයි. තමන්ගේ ජීවිතේට, හැඟීම් වලට පිරිමි හදවතක ඉඩක් ඉල්ලන කාන්තාවක්. ඒ වෙද්දී හරකටත් ඈ'ව මුණගැහිලා කතා කරන්න උවමනාවක් තිබුණා. ඒත්, මුල් දවස් වලදී ඈ කිව්වා වගේ "හරක ගැන හිතෙන දේ පස්සේ කියන්නං" කියපු දවස එනකං බලං හිටියේ.
ඕං.. ඒ දවස ආවා...

"හී හී... ඔයාගේ අර මංගල දැන්වීම නං මරු. ඒක බලපු දවසේ මට හිතුන මෙහෙම පිරිමිත් ඉන්නවද කියල. දැන් නං දන්නවා. මට මේ ජීවිතේ වෙනස් කර ගන්න ඕනේ. ඔයා මනුස්සකන් දන්නවා, හිතන විදිහ හරියට හරි. මං හිතන්නෙත් එහෙම තමා. හැබැයි මට තාම ඔයාව ෂුවර් නෑ හරිද...හී  හී..."

"හරි, එහෙනං හෙට'අනිද්දම දවසක අපි මුණගැහිලම කතා කරමු"

"හා... එහෙනං ඔයා එදාට වෙලාවත් අරං එන්නකෝ. මං ඒකත් බලලම කියන්නං"

"වෙලාව අරං එන්න කියන්නේ...?"

"ඔයාගේ කේන්දරේ කොපියක් අනේ..."


Wednesday, January 1, 2014

"විෂ්" එක මුල් වී සුබ පැතුම යට යාම...!!!

අද දිනය යනු තොරතෝංචියක් නැති ව සුබ පැතුම් ලැබෙන දිනයකි.
උදේ හමුවන එකාගෙන් වෙලාව කීයදැයි ඇසුවද “සේම් ටු යූ“ කියන තරම් අංජබජල් දවසකි....!!
මේ සුබ පැතීමේ සම්ප්‍රදාය කවදා කොහේ ඇතිවිණිදැයි සොයා දැන ගන්නට නැති වුව ද, ඉඳුරාම එය අපට ලැබුණේ නම් අපව ආක්‍රමණය කොට අපගේ හරු බස්සම අතගාගෙන ගිය පරදේශක්කාරයන්ගෙන්'වගනම් ඉර හඳ වගේ විශ්වාස ය.. ඔවුන්ට අලුත් අවුරුද්දකට වඩා තිබුනේ නත්තල ය. මූණට හමුවන එකිනෙකා සිප වැළැඳ නත්තලට සුබ පතන්නට නොහැකි වූ අයට විකල්පයක් ලෙසින් නත්තල් කාඩ් පත් බිහි විය. මුලින් ම මේවා අතින් ඇඳ යැවුණි. පසු ව මුද්‍රණ තාක්ෂණයෙන් ඒවා එළි බසින්නට වූයේ ඊට හොඳ වෙළෙඳ පොලක් තිබෙන වගට ව්‍යාපාරික ඥාණයක් ඇත්තන්ට දැණුනු නිසාය.
Image - http://www.etsy.com/market/get_well
ලංකාවේ නත්තල් කාඩ් සඳහා ද යම් පමණක ඉල්ලුමක් තිබුණද, එය ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නට තරම් ලොකු නොවූයෙන්, අලුත් මාකට් එකක් සොයා ගත යුතු විය. ඊට හොඳ තල්ලුවක් ලැබුනේ හෙන්රි ඕල්කොට් තුමාගේ බෞද්ධ පුනරුද සංකල්පයයි. උන්ට නත්තල්නම් අපි වෙසක් කාඩ් ගසමුයැයි ලංකාවේ දමිළ ව්‍යාපාරිකයන් ඒක රාශී වූයේ මේ සද්ජන චේතනාවෙනි..!! කොළඹ හෙට්ටි වීදියේ මෙහා කොනේ සිට එහා කොනටම එදා සිටියේ රත්තරං බඩු වෙළෙන්දන් නොවේ. සුබපැතුම් වෙළෙන්දන් ය. ඉහළ පෙලේ චිත්‍ර ශිල්පියකුගෙන් හොඳ බෞද්ධ චිත්‍රයක් යොදා, කොළඹ කවියකුගේ කවි සිතිවිල්ලකින් පොහොසත් ව මුලින් එය මාකට් එකට ආවේ ය. පහු පහු වන විට, මේ වෙසක් කාඩ් මළඉලව්වල 'වෙසක්' ඇරෙන්නට අනෙක් හැම මගුලක් ම විය. යුද වාතාවරණයත් සමග කැමප්ලාජ් ඇඳ පන්සල් යන පින්තූර ද ඊට ඇතුළත් විය. පහුවන විට එහි බෞද්ධ මුහුණුවර සහමුලින් ම මැකී ගොස්, ශෘංගාරාත්මක තුට්ටු දෙකේ ආදර වසංගතයක් බවට ම පත් විය.
මේ “බිස්නස්“ එක සමග ම කැළැන්ඩර් ව්‍යාපාරය ද, අලුත් අවුරුදු සුබපැතුම් ව්‍යාපාරය ද අතිශයින් ලාබ දායී ව්‍යාපාරයක් වූ අතර, ඊට මහා පරිමාණයෙන් විදුලි උපකරණ සහ ගෘහ උපකරණ වෙළෙන්දන්ගෙන් ද ඇඳුම් පැළඳුම් කඩ කාරයන්ගෙන් ද, දැවැන්ත තල්ලුවක් ලැබුනේ ය. නොවැම්බර් මාසය ඉවරවෙනවාත් සමග ෂෝරූම් වීදුරු මත කපු පුලුන් අලවා ව්‍යාජ හිම පාරක් ද, තොරම්බොල් අකුරෙන් මැරි ක්‍රිස්මස් ඇන්ඩ් හැපි නිව් ඉයර් යැයි වගන්තියක් ද ගසා, ඊටත් ලොකු අකුරෙන් “සේල් සේල් - මහා සේල්“ යනුවෙන්ද ගසා, නැති ආලවට්ටමක් මපා පෑවේ අප ගැන පතල කරුණාවෙන් නොවන වග ඕනෑම කෙනෙකුට තේරෙනු ඇති.
නත්තල් සීයා හෙවත් ශාන්ත ක්ලෝස් මුණිවරයාගේ සංකේතය වූ, කොළ පැහැති ඇඳුම ද රතු පාට කළේ ලොව දැවැන්ත ම ව්‍යාපාරයක් වන කොකා කෝලා බහුජාතික සමාගමේ උවමනාවට ය..! අද ඒ උතුම් පුද්ගලයා මරා දමා අප ඉදිරියේ පෙනී සිටින්නේ නත්තල් පප්පලා හෙවත් බහු රූ කෝලම් මළ විකාර ය. උන් ද සිල්ලර කඩ කාරයන්ගේ උවමනාවට, මහා පාරේ විගඩම් නටන තරමට බාල, පහත් තත්ත්වයට ඇද දමා ඇත්තේ ය. කොටින් ම සුපර් මාකට්වල බඩු කිරන සහ කවුන්ටරවල ඉන්නා කෙල්ලංගේ හිසටද අර මුණිවරයාගේ තොප්පි කඩ මාල්ලක් එල්ලා දමන්නට තරම් මේ ජඩ ව්‍යාපාරය සැහැසි වී තිබේ.

මීට අවුරුදු ගනනාවකට කළියෙන් මම සියලු රැකියාවන් අතහැර දමා, ස්වාධීන ව්‍යාපාරයක් ආරම්භ කළෙමි. ඡායාරූප ශිල්පයට අමතර ව ග්‍රැෆික් සැලසුම් සහ සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණය ඊට ඇතුළත් විය. මේ ව්‍යාපාරය ගැන දන්නා කියන අයට දැනුම් දීමට මා කළේ ද හැම ජනේරුවකටම, වෙසක් එකකටම සුබ පැතුම්පත් මුද්‍රණය කොට තැපැල් කිරීම ය. එයින් මම විපුල පල ප්‍රෙයා්ජන ලැබුවෙමි. එකල අවුරුද්ද අවසානයේ ලැබෙන සුබ පැතුම් පත් සියල්ල කාර්යාලය පුරා වැල් වැට ගසා එල්ලා ප්‍රදර්ශනය කිරීමෙන් මහත් සන්තෝසයක් ද, ප්‍රමාණය වැඩිනම් පොඩි ගර්වයක් ද ලැබූවෙමි. එකල කැලැන්ඩර් ද තුන් හාරසියයක් ලැබුණු අතර, අඩු තරමින් දිනපොත් විසි තිස් ගණනක් ම ලැබුවෙමි.

දුරකථනයක් ලැබුණු පසු මේ මුද්‍රිත කාඩ් නතර වූ අතර, ඇමතුමකින් සුබ පැතුවෙමි. මා මෙන් ම අනෙක් අයද කළේ එයම ය. ඒ හා සමග ම සුබ පැතුම් ලැබෙන ප්‍රමාණයද, කැලැන්ඩර් ප්‍රමාණයද ක්ෂයවී ගිය අතර, අද පෙබරවාරි මාසයේදී පමණ දිනපොතක් මිල දී ගන්නට තරම් අභාග්‍ය සම්පන්න අවදියකට අවතීර්ණ වී සිටිමි.
ඊටත් පසු ජංගම දුරකතනවලින් කෙටි පණිවිඩ යැවීමේ පහසුකම ලැබුණු පසු, හැම ජනේරුවකට ම සහ සිංහල අවුරුද්දකට ම අලුත් කවියක් ලියා හතර අතේ පා කොට හැරියෙමි. දුරකතන බිල ඉහළ නිසා එය මහා “ලාබයක්“ ද අත් කර දුන්නේ ය..!! අදත් ඒ කවි පොඩිත්තක් ලැබෙන තෙක් බලා සිටින මිතුරු සමූහයක් මට සිටින අතර, ප්‍රමාද වූ විට එය අසා ඉල්ලන අයද තවමත් සිටියි. ..!
පසු ගිය අවුරුදු කිහිපය දෙස ආපසු හැරී බැලීමේදි, ලැබෙන කෙටි පණිවිඩ ප්‍රමාණය ද ක්‍රමයෙන් ක්ෂීණවන බවක් පෙනෙයි. එමෙන් ම ඒ හැම එකකම පාහේ දකින්නට ලැබෙන්නේ ද මීට අවුරුදු තුන හතරකට කළින් වෙන එකෙකු එවූ පණිවිඩයකි. සමහර එව්වායේ පරණ එකාගේ නමද තිබේ...!! ඉංගිරිසියෙන් ඇපල් ය කියා ටයිප් කරන්නට බැරි එකා ෂේක්ස්පියර්ගේ කවි එවනවිට ඇඟේ මාලු නටන්නට පටන් ගිනියි..ඊටත් වඩා අර “සබ්බීදියෝ විරජජන්තූ“ වහන්තරාව සිංග්ලිෂ්වලින් දැක්ක විට ලේ කෝප වී, ඇඟ ගැහෙන්නට පටන් ගනියි...!!

ඊටත් වඩා විහිලුව වන්නේ මේ එවන කෙටි පණිවිඩවලින් 90%කම කිසිදු නමක් ගමක් සඳහන් නොවීම ය...! එවන්නන් වාලේ එවන මේ සුබපැතුම් ඩිලීට් කරන්නට කාලය වැය කරන එක ද මහා අපරාධයකි. එවන් ඒව්වාට “රිප්ලයි“ කරන එක ද මහත් මානසික වධයකි.
දැන් තත්ත්වය තරමක් වෙනස් ය.
දැන් අපේ එකම ගැලවුම් කාරයා වී ඇත්තේ සකර්බර්ග් දිව්‍ය රාජයා ය.. එතුමාට අජරාමර නිවන් සුව අත්වන්නට (සාදු සාදු..!!) මීට කළියෙන් එවන ලද්දාවූ සුබ පැතුම් දැන් වෙන එව්වන්ගේ නම්වලින් දැක බලා ගන්නට තරම් අප මහත් ඵල මහත් ආනිසංස ලබා ඇත්තේ ය...!!! තමන් එවන සුබ පැතුමද තමංගේ නොව අනුන්ගේ ය..!! ඒ මදිවාට ජනේරුවට ද, සිංහල අවුරුද්දට ද, ඉන්දියානු ජාතික දිනයට ද, එන්නේ එකම පෝස්ටයකි..! වෙසක් එකට එය වෙනස් වන්නේ ඉදිච්ච බෝ කොළයක් තිබීම ද, නැවිච්ච ඇඟිල්ල තිබීමද පමණ ය..!! එව්වාට සේම් ටු යූ කිව්වත් කිසිදු පුරස්නයක්, ගනිච්චියක් ද නැත..! මන්ද ඇත්තේ එපමණක් නිසා ය.
එවන් සියලු අබග්ගයන්ගෙන් මිදී, මේ කූට වෙළෙඳ ව්‍යාපාරික අසමජ්ජාතින්ගේ උප සංස්කෘතීන්ගෙන් දුරී භූත වී, හදවතින් ම අනෙකා ව සිප වැළැඳගෙන, සුබ පතන්නට හැකි වාතාවරණයක් උදා වේවායි කියා පතමි..!!
ඒ නිසා මගේ මෙවර අවුරුදු පැතුම වන්නේ මේ “සිස්ටම් එක“ වෙනස් වේවා කියා ය...!


-ඉන්ද්‍රනාථ තේනුවර-
(Wednesday , 1/1/2014)
(https://www.facebook.com/indranathathenuwara)



[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

Saturday, December 28, 2013

සත් වසරක් ගෙවී ගිහින්...

දැං වෙලාව රෑ 11යි. තව පැයකින් හරකාට විෂේශ දවසක් ඉවර වෙනවා. 2006 දෙසැම්බර් 27 වෙනිදා , ඒ කියන්නෙ හරියටම අදින් වසර 7කට පෙර අද වගේම දවසක කොළඹ ලුම්බිණි රඟහලේ හවස 6.30 සිට කෙටි නාට්‍ය 4ක් වේදිකා ගත වුනා. ඒ.., හරක ජීවිතේ මුලිංම බලපු කෙටි නාට්‍ය හතර. අවුරුදු 7කට පස්සෙ ආපහු හැරිල බලද්දි, එදා හවස් වරුවෙ ගත කරපු ඒ පැය කීපය හරකගෙ ජීවිතේ වැදගත්ම පැය කීපයක් නේද කියල හිතෙනව. ඉතිං ඒ මතකය හරකට ඒත්තු ගැන්නූ කාරණා ටිකක් මෙහෙම සටහන් කරන්න හිතුනා. ලිපිය අදම(27) ඉවර කරන්න නං හරකට බැරිවේවි.

හරක දෙමව්පියංගෙ සල්ලි වලිං සැපට හැදුනු එකෙක්. ඉතිං අහපු, කියවපු, ඉගෙනගත්තු දැනුමෙං ලබපු අත්දැකීම් හැර ප්‍රායෝගික ජීවිතේ ඇතුලෙ හොඳට හෝ නරකට සිද්ද'උනු හැල'හැප්පීම් ඉතාම අඩුයි. සැපට හැදෙන බබාලට සාමන්‍යයෙන් තියෙන, ඊටත් වඩා සැපවත් ජීවිතයක් වෙනුවෙං සියලු දේ කිරීමේ රෝගයක් හරකට තිබුණෙ නෑ. ඉතිං 2006 කියන්නෙ ගෙදර අය, වටපිටාවෙ අය, යාළුවො, නෑයො, සමාජය විසින් හරකා ජීවත් විය යුතු විදිහ හා කලයුතු දේ විදිහට සම්මත කරල තිබුණු දේවල් ඔක්කොටම පයිං ගහල හරකට කැමති දේ හඹාගෙන යමිං හිටපු කාලයක්. පොඩි කාලෙ ඉඳං හරකට රඟපාන්න තිබ්බ ආසාව ඔඩු'දුවන්න ගත්තෙ 2005-2006 වගේ කාලෙ. ඒත් පොඩි කාලෙ ඉඳං කරේ වෙන වෙන වැඩ හින්ද, මේව ගැන හරකට තේරුමක් තිබ්බෙ නෑ. ඉස්කෝලෙදිත් කිසිම කලා කෙරුවාවක් කරලා තිබුණෙ නැති නිසා අළුත් ගමන පටං ගන්නෙ කොහෙන්ද කියලා අදහසක් හිතට ආවෙ නෑ, ඒගැන උපදෙසක්/දැනුමක් ගන්න ඕනෙ කාගෙන්ද කියලා හරක දැනං හිටියෙත් නෑ.
ටෙලිනාට්‍ය වල පොඩි පොඩි කෑලි ඇක්ට් කර කර හිටපු ගෙවල් පැත්තෙ අයියා කෙනෙක්, මේ කාලෙ හරකවත් පොඩි පොඩි ටෙලි කෑලි කීපෙකට සෙට් කරා. ඒත් තුන'හතරකට යද්දිම ඒ'වැඩේ හරකට එපා'උනේ, හරක හොයන දේ මොකද්ද කියල දැනුමක් ඒ'වෙනකොට හරකට නැති'උනත්, ඒක ටෙලි'කෑලි අස්සෙ නං නැති බව දැනුනු නිසා.. අනික, පිටකො‍ටුවෙ පේමන්ට් එකේ බඩු විකුණන මිනිහෙක් මොකක්හරි ජිල්'මාට් එකක් දාල මිනිස්සුංගෙං වැඩිපුර කීයක් හරි කඩා ගන්න එකෙයි , මේ පොඩි පොඩි නළු'නිළි පිස්සො'පිස්සියො ගෙන්නගෙන ටෙලි කෑලි ගොඩ දාගන්න එකෙයි කිසි වෙනසක් නැති බව මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව. ඔය අතරෙ තමා හරක පත්තර වල සැරින්'සැරේට දාන ඩ්‍රාමා ඉවෙන්ට්ස් හොය'හොයා බලන්න ගියේ.

නාට්ටි තියෙන්නෙ හවස උනාට, හරක ඒ'කාලෙ ඒව තියෙන තැං වලට උදේම ගිහිං කැරකි කැරකි වෙන්නෙ මොනවද කියලා බලං ඉන්නව. කිසි'කෙනෙක්ව අඳුරන්නෙ නැති නිසා හරක මේ තැං වලට ගියේ හරකගෙ පොත් රාක්කෙ තියෙන කලාවට සම්බන්ද මොකක්හරි පොතකුත් අතේ තියාගෙන**.. , එතකොට කැම්පස් කොල්ලෙක් කියලා හිතල කවුරුවත් යන්න කියන්නෙ නෑනෙ. උදේ ඉඳං කැරකිල කැරකිලා හොයා'ගන්න ඕප'දූප වලිනුයි, හවසට බලන නාට්ටියෙනුයි හරකට තේරුණා මේක හරි දුප්පත් වැඩක් බව. ඒත් කියන්න නොතේරෙන මොකද්දෝ දෙයක් නිසා හරකට මේ ක්‍රියාවලිය බොහොම තදේට හිතට වැදුනා. මේ වෙද්දි "කෙටි නාට්‍ය" කියන්නෙ මොකද්ද කියලා හරක දැනං හිටියෙ නෑ. ඉස්කෝලෙ 6 වසරෙ ඉද්දි තාත්ත බලන්න එක්කං ගිය නාට්ටි** කීපෙ ඇරෙන්න, මුලිංම හරක දිගු නාට්ටියක් බැලුවෙත් මේ කියන දෙසැ.27 වෙනිදට මාස 2කට විතර කලිං.
24 වෙනිදා පත්තරේ කෙටි නාට්‍ය පැවැත්වෙන බව දාල තිබුණා. ඒක දැකල කිසි දෙයක් හිතාගන්න බැරිඋන හරකා 27 වෙනිදා ලුම්බිණියට ගියේ මේ "කෙටි නාට්‍ය" කියන්නෙ මොනවද කියලා බලාගන්න තිබ්බ උවමනාවටමයි.

( මතකයට බාධාවක් සේ දැනෙන බැවින් මෙතැන් සිට හරක්'ෆැන්ටසිය පැත්තකින් තබා ලියමි. )

මට එදා උදෙන්ම යන්න ලැබුණෙ නෑ, ලුම්බිණියට යද්දි හවස 4යි. හෝල් එක ඉස්සරහ ලොකු ඉඩක් නැති නිසා කොරිඩෝව කෙලවරට වෙලා යන'එන අය කරන දේවල් දිහා මං බලං හිටියා. නාට්ටි බලන්න ඒ'වෙද්දි ඇවිත් හිටියෙ මං විතරයි. හිටපු අනිත් අය ඔක්කොම, නාට්‍ය වලට සම්බන්ද අය සහ උළෙල සංවිධානය කරන අය. දොරවල් වහලා නිසා ඇතුලෙ වෙන්නෙ මොනවද කියලා ගිහිං බලන්න විදිහක් තිබුණෙත් නෑ. 6.15 විතර වෙද්දි නාට්ටි බලන්න ඇවිත් හිටපු 40ක විතර පිරිස හෝල් එක ඇතුලට ගත්තා. මම 5වෙනි පේලියෙ වම්පැත්තෙ කොනේම පු‍ටුවෙ වාඩි'උනා. දොරෙං ඇතුල් වෙද්දිම දැකපු, ස්ටේජ් එකේ දකුණු කෙලවරේ නාට්ටියට ලෑස්ති වෙමිං හිටපු අය කරන්නෙ මොනවද කියලා බලා ගන්න හිතාගෙනයි එතන වාඩි'උනේ. කට්ටිය නාට්ටියෙ මොනවදෝ බඩු'මුට්‍ටු වගයක් ලෑස්ති කරමිං හිටියෙ, ඒත් මං වාඩිඋනා විතරයි, තිරේ වැහුවා.

නාට්ටි පටංගන්න නියමිතව තිබුණෙ 6.30ට උනාට සෙනග මදි නිසාද'කොහෙද පටං ගත්තෙ 7 විතර වෙනකං කල්'ඇරලා. නිවේදකයෙක් ඇවිත් පොඩි එනවුන්ස්මන්ට් එකක් දීලා, මට දිරවන්නෙම නැති පොල් තෙල් පහං වලට ගිනිතියන වැඩේ පටං ගත්තා. ඔය අතරෙ ආරාධිත අමුත්තො පස්'දෙනෙකුත් පෝලිමට ඇවිත්  දෙවෙනි පේලියෙ මැද, වෙං'කරලා තිබුණු පු‍ටු වලිං වාඩි'උනා.(ඒ ආරධිත අමුත්තන් නොව උළෙලේ වින්ශ්චය මණ්ඩලය බව දැනගත්තේ කලකට පසුවයි) 1st බෙල්'එක වැදුනා. තව ටිකකින් ලයිට් ඕෆ් කරන බව ඒ වෙද්දි මං දන්න නිසා පු‍ටුවෙ හරි'බරි ගැහුන නාට්ටිය බලන්න. ලයිට් යන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහ දොරෙං හෙල්මට් දෙකක්ද අතැතිව අප්‍රිකානු සම්භවයක් ඇතැයි කියා මට හිතුනු අඩි 9ක් පමණ උස කාලවර්ණ දේහධාරියෙක් ඇතුල්'උනා.(ඒ, ලුම්බිණියේ කුරුමිණි පු‍ටුවක වාඩි වී සිටි මට ඔහුව පෙනුනු විදිහයි.) ඔහු සමඟ තව අක්ක කෙනෙකුත් ඇවිත් දෙන්න'එක්ක මට එහා පැත්තෙ පු‍ටු දෙකෙන් වාඩි'උනා. වාඩි වෙන ගමං "අයියෝ..නොමිලේ පෙන්නලත් මිනිස්සු එන්'නෑනෙ බලන්න" කියල දේහධාරියට කිව්වෙ අර අක්ක. මට මීටර්'උනේ ඒ වෙලාවෙ.., ඇත්ත නේන්නං..මං ටිකට් ගත්තෙත් නෑනෙ, ගන්න තැනක් තිබුණෙත් නෑනෙ. හෝල්'එකේ ඔක්කොම හිටියෙ 70ක් විතර. රටේ තත්වෙ එක්ක කලාවක් විදිහට, "කෙටි නාට්‍ය" තියෙන්නෙ කොතනද කියලා හිතන්න අර අක්ක කිව්ව දේ ඒ වෙලාවෙ මාව පෙලඹෙව්වා. ඒත් හිතන්න පටං ගත්ත ගමං ලයිට් නිවුනා. 3rd බෙල්'එක වැදුනා.

ඊලඟ පැයයි විනාඩි 45ක විතර කාලය ඇතුලත මං තුෂ්නිම්භූත වෙලා ගියේ "කෙටි නාට්‍ය" කියලා දෙයක් මං මුලිංම දකින මොහොත ඒක නිසා. එදා.., ගැහැණු මනුස්සයා, රාත්‍රිය, යාපනය බලා ගිය කත, ඔයයි මායි තනියම 'යන නම් වලිං කෙටි නාට්ටි 4ක් තිබුණා. ඒවා කෙටි නාට්ටි විදිහට තිබුණෙ මොන වගේ මට්ටමකද කියල කියන්න මට එදා තේරුමක්/දැනුමක් තිබුණෙ නෑ. පොඩි වෙලාවක් ඇතුලතදි නාට්ටි 4ක්, කතා 4ක්, රස ගොඩක්, වෙනස් වෙනස් නළු'නිළියො ගොඩක්, නාට්ටියෙං නාට්ටියට වෙනස් වෙච්චි ලයිට් ගහන විදිහ, හතර විදිහක මියුසික්, නාට්ටි හතර අතරෙදි චූටි විවේක කාල 3ක්, තිරෙත් හතර'පාරක් ඇරියා'වැහුවා... අම්මට'හුඩු..., මේක නං මාරයි. ඔන්න මට එදා ආපු හැඟීම. වෙනද නාට්ටියක් බලල ඒකෙ තියෙන එක'එක චරිත හිතෙං රඟ'පපා ගෙදර ගිය මං එදා ගියේ නස්කර් වෙලා.

නමුත්, ලුම්බිණියෙ ගෙවපු ඒ පැය කීපෙට අවුරුදු 7ක් පිරෙන අද දවසේ මගේ මතකයට එන වැදගත්ම දේ මේ කිසිවක් නෙමෙයි.
  • එදා වින්ශ්චය මණ්ඩලේ හිටපු පස්'දෙනාගෙන් හතර'දෙනෙක්ම පස්සෙ කාලෙක මගේ නාට්‍ය ගුරුවරු වෙන බව මං එදා දැනං හිටියෙ නෑ.
  • එදා මං බලං හිටිය වාගෙම කොරිඩෝවේ එහා කෙලවරේ, තව කෙනෙක් සමඟ කතා කරමින් එහෙ'මෙහෙ බලමින් සිටි පුද්ගලයා පස්සෙ කාලෙක මං එක්ක එකට එකතු වෙලා නාට්‍ය කරන මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙක් වෙන බව එදා මං දැනං හිටියෙ නෑ.
  • හෝල් එකට කට්ටිය දාන්න විනාඩි කීපෙකට කලිං ගිටාරෙකුත් කරේ එල්ලගෙන කොහෙන්දෝ මතුවූ හාදයා කෙල්ලො කීප'දෙනෙක්ට මල් හී කීපෙකුත් විදගෙන ආව වගේම වැනිෂ් උනා. ඔහු ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනක් තවමත් නියම වටිනාකම හඳුනා නොගත් මල්ටි ටැලන්ටඩ් පොරක් බවත්, මං දන්න කියන අය අතරින් ඉතාම සංවේදී කිහිපදෙනාගෙන් කෙනෙක් බවත්, මං එක්ක නාට්‍ය කීපයකම රඟපාන්නට නියමිත මිතුරෙක් බවත් මං එදා දැනං හිටියෙ නෑ.
  • නාට්ටි ඉවර වෙලා කොරිඩෝවට බහිනකොට කලිං කෙනා මල් හී විද්ද තැනම හිටගෙන තවත්'කෙනෙක්, ඉස්සරහට ලියන්න නියමිත නාට්ටියක් ගැන පිරිසකට පොර ටෝක් එකක් දෙමිං හිටියා. ඔහුත් ඉහත පැහැදිලි කිරීම'ම කලහැකි කෙනෙක් බවත්, පස්සෙ කාලෙක එකම නාට්‍ය කණ්ඩායමක මාත් එක්ක නාට්‍ය පෙන්නමිං රට පුරා යන බවත්, එම චාරිකාව පුරාවටම මට, ඔහුගේ කතන්දර වලට අවන්කවම ඇහුම්කන් දෙන එකම පුද්ගලයා බවට පත්වෙන්නට සිදුවෙන බවත් මං එදා දැනං හිටියෙ නෑ.
  • මාව දෙවෙනි වරට රඟපාන්න ගන්නේ, එදා දෙවන කෙටි නාට්‍යයේ නිෂ්පාදකයා බව මං එදා දැනං හිටියෙ නෑ.[ ඒ වැඩේ කෙරුනෙත් නෑ :( ]
  • මං පලමු වරට විදෙස් නාට්‍ය උළෙලක් සඳහා ලංකාව නියෝජනය කරන්නේ, එදා මං ලඟින් වාඩි වූ කාලවර්ණ'දේහධාරියා සමග ඔහු නිෂ්පාදනය කරන නාට්‍යකින් බව මං එදා දැනං හිටියෙ නෑ.
  • මේ වෙනකං රඟපෑම සඳහා මම වැඩිපුරම මනසින් වෙහෙසුනු චරිතය සහිත නාට්‍යයේ මගේ සහයිකාව/යෙහෙලිය/පෙම්වතිය ලෙස රඟපාන්නේ එදා දේහධාරියා සමඟ පැමිණි අක්කා බව මං එදා දැනං හිටියෙ නෑ.
  • එදා තිබුණු කෙටිනාට්‍ය අතරින් "මමත් මේ වගේ නළුවෙක් වෙන්න ඕනෙ" කියල මට හිතුනු, එදින මගේ සිත්'ගත් නළුවා පසු කලෙක රඟපෑ නාට්‍ය කීපයකම, ඔහු රඟපෑ චරිත සඳහා මාව ‍තෝරාගනීවි'යැයි මං එදා දැනං හිටියෙ නෑ. 2007 අවුරුද්දෙ අන්තිම වෙද්දි මං හීන මැව්වෙ "මට එංගලන්තෙ RADA  විශව'විද්‍යාලයේ ඉගෙන ගන්න තියෙනවනං" කියලයි. RADA හි ඉගෙනීමට යාමට තරම් එදා  මගේ සිත්'ගත් නළුවා වාසනාවන්තයෙක් වෙන බව, එදා මං දැනං හිටියෙ නෑ.(මං දන්නා තරමින් RADA'හි මේ වන තුරු ලංකාවෙන් ඉගෙනුම ලබා ඇත්තේ ඔහුත් ඇතුලුව හතර දෙනෙක් පමණි. එහි ඉගෙනීමට වාසනවන්තයෙක් වගේම අනිවාර්යෙන් අති දක්ෂයෙක් විය යුතුමය.)
  • එදා මම ජීවිතේ පලමු වතාවට දකින කෙටි නාට්‍ය නිලිය, මාස කීපෙකට පස්සේ නාට්‍ය පාසලේදී මුණගැහිල, එදා සිට අද දක්වා ඉතා හොඳ මිතුරියක් වෙයි කියලා මං එදා දැනං හිටියෙ නෑ.
මේ ලිව්වෙ පහුගිය අවුරුදු 7 තුල මම කල'කී දේවල් වලිං දශමයක් පමණක් උනාට, කියපු'නොකියපු හැම දෙයින්ම 75%කට'ම විතර සම්බන්ධ විෂේශිත පුද්ගලයෝ, එදා මං ලුම්බිණියේ ගත කරපු පැය කීපය තුලදී දැක්කා/මුණගැහුනා.(ඩොට් දමා විෂේශයෙන් නොකියූ පිරිසක්ද එදා මං දු‍ටු/මුණගැසුනු පිරිස අතර ඉන්නවා. දිග වැඩි වෙන නිසා නොලිව්වෙමි) ඒ වගේම කුමක් හෝ කරුණක් නිසා ඔවුන් මගේ මතකයේ ‍රැඳිලා හිටියා. මගේ පහුගිය අවුරුදු 7 පිළිබඳව එදා, ඒ හැමෝම මට ඉඟි කලා නේද..කියලා දැං මට හිතෙනවා, ඒක කියන්න නොතේරෙන මොකද්දෝ අමුතු සුන්දර හැඟීමක්...
සාමන්‍ය මිනිහෙක් අවුරුදු 7ක් තුල ලබන අත්දැකීම් සහ අවබෝධකරගැනීම් , සංවේදී කලා'කාරයෙක්ට ලබන්න ගතවෙන්නෙ අවුරුද්දයි කියල මං කොහේ'හෝ කියවපු බව මතකයි. හැබැයි පහුගිය අවුරුදු 7, මට අවුරුදු 49ක් වගේ නොදැනෙන්නෙ මං කලා'කාරයෙක් කියන හැඟීම මට නැති නිසා සහ ඇත්තටම මං කලා'කාරයෙක් නොවන නිසා වෙන්න ඇති. කොහොමත් මම, මං කලා'කරයෙක් කියලා හිතන්න කැමතිත් නෑ වගේම මගේ තියරියට අනුව, මට එහෙම හිතෙනවනං ඒකෙ ලොකු අවුලකුත් තියෙනව.

මොනව'උනත් පහුගිය අවුරුදු 7 ඇතුලෙ මං කරපු'කියපු දේවල් වල ඵල, මේ වෙද්දි මං නෙලමිං ඉන්නෙ.. ඒවා තවත් මොනවාට හෝ අනාගතේදි පාර කපාවි.
ඉවරයි.
. . . . . . . . . . . . . . . . . . . . . . . . .
* ලියනවනං මේ වගේ කතා හැමෝටම තියෙන බව හරක දන්නවා. ඉතිං අතීත ආවර්ජණ වලදි දැනෙන අමුතු සුන්දර හැඟීමෙ මහලොකු විෂේශයක් නැති බව, ඒ හැඟීමෙන් පිටට ඇවිත් හිතනකොට ඕන කෙනෙක්ට තේරෙනවා.
ප.ලි.

** පොත අතේ තියාගෙන රවුම් ගැසීම නිසා ලබපු අත්දැකීම් වෙනම කියන්නම්.
** 6 වසරෙදි, හරකා ජීවිතේ මුලිංම බලපු නාට්ටිය ගැනත් වෙනම ලියන්නම්.

Wednesday, December 25, 2013

නත්තල් සීයා වෙත ,

අනේ නත්තල් සීයේ,
මං උඹ ගැන දැනගනිද්දි මට වයස අවුරුදු දෙකයි. එදා ඉඳං අද වෙනකං අවුරුදු විසිපහක් තිස්සෙ උඹ එනකං මං බලං ඉන්නවා කියලා උඹ තාම දන්'නැද්ද ? අද දවස ඉවර'වෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ.
හ්ම්ම්ම්... උඹ අද එන්නෙත් නෑ සීයෙ..

උඹේ බොස් ඉපදුනෙත් මං ඉපදුනා වාගෙම ගව'මඩුවක සීයෙ. පොර හැමෝටම ආදරේ කරන්න කිව්වට උඹ වැඩ කරන්නෙත් පංගු'පේරුවටමයි නේද ? මොනම දේකදි'වත් පංගු'පේරුවට වැඩ කරනවට මං නං කැමති නෑ. ඒත් උඹට එහෙම කරන්න ඕනෙම නං, අඩුමගානෙ හරිම පංගුව ‍තෝරගනිංකො.. උඹ සලකන්නෙ බැටළුවොන්ටමනෙ.
උඹට වැරදිලා සීයෙ. මම දන්න කාලෙ ඉඳං අපේ උං හදන හදන ගව'මඩු වලට ගෙනත් තියන්නෙම ප්ලාස්ටික් බැටළුවො. උඹත් දන්න කාලෙ ඉඳංම දැකලා තියෙන්නෙ ගව'මඩු වල හිටවලා ඉන්න බැටළුවො නේද සීයෙ. ඔතනයි උඹට වැරදුනේ.. උඹේ බොස් නං කිව්වෙ අපිට වගේ අං නැති'උනාට' හරීඊඊඊ කියුට් වගේ පෙනුනට ඒ.., බැටළු හම් පොරවගත්තු වෘකයො කියලා. පබා අක්ක නං කිව්වෙ, ඒ හම් ඇතුලෙ ඉන්නෙ නරි කියලා. මොක්කු'උනත් උං හරක් නං නෙමෙයි සීයෙ. හරි හරි, උඹ දැං කියන්න හදන දේ මං දන්නවා. ඔව්, උංව ගව'මඩු වල හිටෙව්වෙ අපි වගේ හරක් තමයි. ඒත් කවදා'හරි අපිත් අං ගලවල දාල, ඔළුව හෝදගෙන මොලේ පාදගන්න ඕනෙ නේද සීයෙ. උඹේ බොසුත් ගව'මඩුවකිං වැඩෙට එන්ටර් උනේ ඒ'හින්දනෙ..

මෙහෙ වනාතෙ කියල පැත්තක් තියෙනව සීයෙ. එහෙ ඉන්න අපේ උංට ගෙවල් හදල දෙන පොජෙට් එකක් යනව. උඹ දන්නවද සීයෙ.. ඒකෙ වැඩ බලන්න ආපු බැටළු පැටියෙක් අපේ උංට උම්බෑ කියපු විදිහ දැක්කම, මට අපේ උං ගැන අඬන්නද' හිනාවෙන්නද' කියලා හිතාගන්න බැරිඋනා සීයෙ. ආත්මාර්ථකාමීකම, කුහකකම, ඊරිසියාව වගේ බර වචන ඔක්කොමයි ඒ'වගෙම ගොංකමයි මෙහෙ ඉන්න හරක්, බැටළුවො දෙගොල්ලොන්ටම මදි නොකියන්න තියෙනව සීයෙ. අපිට යන කල'දසාව හිතාගන්න අර බැටළු පැටිය උම්බෑ කියපු විදිහයි, අපේ උං ඒකට හූමිටි තිබ්බ විදිහයි බලපුවහම හොඳටෝම ඇති සීයෙ. ලොකුම දුක කියන්නෙ ඒ බැටළුවො ටික පැන්නුවයි කියලා අළුතෙං හිටෝලා තියන්න වෙන ක‍ටුස්සෙක්වත් නැති එකනෙ සීයෙ. උඹට මහන්සියි නං අං ගැලෙව්වෙ නැතත් කමක් නෑ. මොල පෑදෙන්න මොනවහරි ගුලි ටිකක්වත්, ඇවිත් මුංට කවලා පලයංකො සීයෙ.

උඹලට වගේ අපිට හිම වැටෙන්'නෑනෙ. ඉර අපේ ඔලුවට උඩිං හැමදාම ටටා කියාගෙන යනව සීයෙ. සොබාමෑණියො උඹලට දෙන බයිට් එකෙං සීයෙන්'පංගුවක්වත් අපිට දෙන්නෙ නෑ කියල උඹලගෙ දේසෙ'ට ආවම මට හොඳට තේරුණා සීයෙ. අපේ උංට මේව්වල අගයක් තේරෙන් නෑ බං. ඒ'අතිං නං සොබාමෑණියො අපිවයි බයිට'ට අරං තියෙන්නෙ. අපේ උංට මෙව්ව තේරුං'ගන්න එයා ඔළුවක් දුන්නෙ නෑනෙ සීයෙ, අං දෙකක් මිසක්..

උඹේ බොස්ව ගණං ගන්න එවුං මෙහෙ අඩුයි සීයෙ. මෙහෙ ගොඩක් අයට ඉන්නෙ වෙන බොස් කෙනෙක්. මං නං ඔය බොස්ලා දෙන්නගෙවත්, අනිත් බොස්ලා පස්සෙවත් ගාටන්නෙ නෑ. හැබැයි මේ බොස්ලා ඔක්කොම හොඳ මිනිස්සු සීයෙ. සුනිල් අංකලුත් කිව්ව උඹේ බොසුයි අපේ බොසුයි එයාලගෙ ගෙදරට වෙලා කිසි අවුලක් නැතුව ටොප් එකට ඉන්නවා, අපියි පිස්සු කෙලින්නෙ කියලා.. උඹ දන්නවද සීයෙ.. ඒ කතාව සහතික ඇත්ත, අපි තමා පිස්සු කෙලින්නෙ, මරාගන්නෙ.
මෙහෙ'බොස්ගෙත් ගෝලයො, අඳින නූල්'පොටේ ඉඳං තැං තැං වල, කෑලි කෑලි වලට බෙදිල සමානාත්මතාවෙයි, සහජීවනේ ගැනයි බණ කියනව සීයෙ. ශ්‍රද්ධාව කියලා එකකිං අපේ උංගෙ ඔලු අවුල් වෙලා හින්ද, මුං කෙලින කෙප්පවල් අපේ උංට තේරෙන්'නෑ සීයෙ. අඬන්න දේවල් ගොඩාරියක් තියෙද්දි මෙහේ ඉන්න උඹේ බොස්ගෙ ගෝලයොත්, උඹේ ඇඳුං ටික නිල්'කුඩු දාල හේදුව කියල පහුගිය දවස් ටිකේ නහයෙං ඇඬුව සීයෙ.

ඔහෙ වගේ මෙහෙ සීතල නැති'උනාට මෙහෙ හැටියට මේ'කාලෙට මෙහෙත් පට්ට සීතලයි සීයෙ. අල්ලපු රටේ තරං නැති උනාට මෙහෙත් රෑ'ට පාරවල් අයිනෙයි, හන්දි ගානෙයි බුදියගන්න මිනිස්සු ඉන්නව සීයෙ. උංටත් දවල්ට රස්නෙයි, රෑ'ට සීතලයි. උඹ දන්නවද සීයෙ.. රෑ'ට අපේ හන්දියෙ කඩපිලක බුදියගන්න සීය'කෙනෙක්ට ගිය අවුරුද්දෙ මං දුන්නු බෙඩ්'ෂීට් එක තවමත් රෑ'ට පොරවගෙන බුදියං ඉන්න'හැටි, රෑ තිස්සෙ රස්තියාදු ගහනකොට මං දකිනව බං.., ඒ වෙලාවට හිතට දැනෙන්නෙ පට්ටම සතුටක් සීයෙ. කළුතර පැත්තෙ ඉන්න අපේ නෑයො කට්ටියක් කුරුණෑගල පැත්තෙ ආරන්නෙ'කට ලොකු දානයක් දුන්න සීයෙ. එතෙන්ට දානයක් දෙන්න හරි අමාරුයිලු. දිනේ බුක්'කරෙත් අවුරුද්දකට කලිං'ලු. ඒ'කියන්නෙ අඩුවක් නැතුව කන්න බොන්න තියෙන තැනක්නෙ සීයෙ. අපේ නෑයො මං ගැන හිතන්නෙත් එයාලගෙ විදිහටම නිසා, මහත්ඵල'මහානිසංස'ද මොනවද ලැබෙනව කියල මටත් අනිවාර්යෙං එන්න කිව්ව සීයෙ. මටත් මං ඔව්වා ගැන හිතන විදිහෙ වැ‍රැද්දක් තියෙනවද කියලා බලාගන්න ඕන'උනු නිසාම වැඩේට ගියා සීයෙ. ලොකු වැඩක් නිසා කට්ටිය කලිං දවසෙ රෑම කුරුණෑගලට සෙට්'උනා. කළුතර ඉඳං කුරුණෑගලට එනකං කඩපිල් වල සීතලේ ගුලි වෙලා නිදාගෙන හිටපු එකෙක්ව'වත් අපේ'උං දැකලා තිබුණෙ නෑ සීයෙ. වැඩේට ලක්ෂ දෙකහමාරක් විතර වියදං උනාලු.. හැබැයි පහුවදා හවස, ලිස්ට් ඒකේ තිබුණු මිදි කිලෝ 20 මිස් උනා කියල කට්ටිය ගොඩක් අප්සෙට් එකේ හිටියෙ සීයෙ. මෙහේ ඉන්න උඹේ බොස්ගෙ පිටිපස්සෙ ගාටන එවුංගෙත් ඔයිට වඩා කිසි වෙනසක් නෑ සීයෙ..

අද මං රූප'පෙට්ටියෙ තියෙන මෙහෙ චැනල් ඔක්කොමයි රට චැනල් ගොඩකුයි පත්තු කර කර බැලුව සීයෙ. උඹ මාරම පොරක්නෙ සීයෙ. උඹේ බොස්'ටත් වඩා පොර උඹ'නෙ. මමත් උඹට ආස ඒකනෙ. මට උඹෙං තෑගි ඕන නෑ සීයෙ. රෑ වෙලා යන ගමං මේ පැත්තෙ වරෙං මං ගානෙ පොඩි අඩියක් ගහල යන්න. එන්න'උනේ නැත්තං පිණිමුවාට කියහං මං මිනිහව මතක් කරා කියල. මගේ 'ඩ්‍රීම් ස්ටාර්' එක පිණිමුවා බව මං කිව්ව කියහං. ප්‍රාර්තනාවක් කරන්න වල්ගා තරුවක්වත් පායන්නෙ නෑනෙ. මෙහෙට කඩං වැටෙන්නෙ උල්කාපාත විතරයි සීයෙ. ඔක්කොමල්ල පංගු'පේරුවට වැඩ.. උඹත් එහෙමනෙ..
නත්තල අපිට හිනාවෙනව සීයෙ.
මට ලැජ්ජයි, ඉතිං ඇති.

මීට,
හරකා.