Showing posts with label බලි. Show all posts
Showing posts with label බලි. Show all posts

Wednesday, December 25, 2013

නත්තල් සීයා වෙත ,

අනේ නත්තල් සීයේ,
මං උඹ ගැන දැනගනිද්දි මට වයස අවුරුදු දෙකයි. එදා ඉඳං අද වෙනකං අවුරුදු විසිපහක් තිස්සෙ උඹ එනකං මං බලං ඉන්නවා කියලා උඹ තාම දන්'නැද්ද ? අද දවස ඉවර'වෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ.
හ්ම්ම්ම්... උඹ අද එන්නෙත් නෑ සීයෙ..

උඹේ බොස් ඉපදුනෙත් මං ඉපදුනා වාගෙම ගව'මඩුවක සීයෙ. පොර හැමෝටම ආදරේ කරන්න කිව්වට උඹ වැඩ කරන්නෙත් පංගු'පේරුවටමයි නේද ? මොනම දේකදි'වත් පංගු'පේරුවට වැඩ කරනවට මං නං කැමති නෑ. ඒත් උඹට එහෙම කරන්න ඕනෙම නං, අඩුමගානෙ හරිම පංගුව ‍තෝරගනිංකො.. උඹ සලකන්නෙ බැටළුවොන්ටමනෙ.
උඹට වැරදිලා සීයෙ. මම දන්න කාලෙ ඉඳං අපේ උං හදන හදන ගව'මඩු වලට ගෙනත් තියන්නෙම ප්ලාස්ටික් බැටළුවො. උඹත් දන්න කාලෙ ඉඳංම දැකලා තියෙන්නෙ ගව'මඩු වල හිටවලා ඉන්න බැටළුවො නේද සීයෙ. ඔතනයි උඹට වැරදුනේ.. උඹේ බොස් නං කිව්වෙ අපිට වගේ අං නැති'උනාට' හරීඊඊඊ කියුට් වගේ පෙනුනට ඒ.., බැටළු හම් පොරවගත්තු වෘකයො කියලා. පබා අක්ක නං කිව්වෙ, ඒ හම් ඇතුලෙ ඉන්නෙ නරි කියලා. මොක්කු'උනත් උං හරක් නං නෙමෙයි සීයෙ. හරි හරි, උඹ දැං කියන්න හදන දේ මං දන්නවා. ඔව්, උංව ගව'මඩු වල හිටෙව්වෙ අපි වගේ හරක් තමයි. ඒත් කවදා'හරි අපිත් අං ගලවල දාල, ඔළුව හෝදගෙන මොලේ පාදගන්න ඕනෙ නේද සීයෙ. උඹේ බොසුත් ගව'මඩුවකිං වැඩෙට එන්ටර් උනේ ඒ'හින්දනෙ..

මෙහෙ වනාතෙ කියල පැත්තක් තියෙනව සීයෙ. එහෙ ඉන්න අපේ උංට ගෙවල් හදල දෙන පොජෙට් එකක් යනව. උඹ දන්නවද සීයෙ.. ඒකෙ වැඩ බලන්න ආපු බැටළු පැටියෙක් අපේ උංට උම්බෑ කියපු විදිහ දැක්කම, මට අපේ උං ගැන අඬන්නද' හිනාවෙන්නද' කියලා හිතාගන්න බැරිඋනා සීයෙ. ආත්මාර්ථකාමීකම, කුහකකම, ඊරිසියාව වගේ බර වචන ඔක්කොමයි ඒ'වගෙම ගොංකමයි මෙහෙ ඉන්න හරක්, බැටළුවො දෙගොල්ලොන්ටම මදි නොකියන්න තියෙනව සීයෙ. අපිට යන කල'දසාව හිතාගන්න අර බැටළු පැටිය උම්බෑ කියපු විදිහයි, අපේ උං ඒකට හූමිටි තිබ්බ විදිහයි බලපුවහම හොඳටෝම ඇති සීයෙ. ලොකුම දුක කියන්නෙ ඒ බැටළුවො ටික පැන්නුවයි කියලා අළුතෙං හිටෝලා තියන්න වෙන ක‍ටුස්සෙක්වත් නැති එකනෙ සීයෙ. උඹට මහන්සියි නං අං ගැලෙව්වෙ නැතත් කමක් නෑ. මොල පෑදෙන්න මොනවහරි ගුලි ටිකක්වත්, ඇවිත් මුංට කවලා පලයංකො සීයෙ.

උඹලට වගේ අපිට හිම වැටෙන්'නෑනෙ. ඉර අපේ ඔලුවට උඩිං හැමදාම ටටා කියාගෙන යනව සීයෙ. සොබාමෑණියො උඹලට දෙන බයිට් එකෙං සීයෙන්'පංගුවක්වත් අපිට දෙන්නෙ නෑ කියල උඹලගෙ දේසෙ'ට ආවම මට හොඳට තේරුණා සීයෙ. අපේ උංට මේව්වල අගයක් තේරෙන් නෑ බං. ඒ'අතිං නං සොබාමෑණියො අපිවයි බයිට'ට අරං තියෙන්නෙ. අපේ උංට මෙව්ව තේරුං'ගන්න එයා ඔළුවක් දුන්නෙ නෑනෙ සීයෙ, අං දෙකක් මිසක්..

උඹේ බොස්ව ගණං ගන්න එවුං මෙහෙ අඩුයි සීයෙ. මෙහෙ ගොඩක් අයට ඉන්නෙ වෙන බොස් කෙනෙක්. මං නං ඔය බොස්ලා දෙන්නගෙවත්, අනිත් බොස්ලා පස්සෙවත් ගාටන්නෙ නෑ. හැබැයි මේ බොස්ලා ඔක්කොම හොඳ මිනිස්සු සීයෙ. සුනිල් අංකලුත් කිව්ව උඹේ බොසුයි අපේ බොසුයි එයාලගෙ ගෙදරට වෙලා කිසි අවුලක් නැතුව ටොප් එකට ඉන්නවා, අපියි පිස්සු කෙලින්නෙ කියලා.. උඹ දන්නවද සීයෙ.. ඒ කතාව සහතික ඇත්ත, අපි තමා පිස්සු කෙලින්නෙ, මරාගන්නෙ.
මෙහෙ'බොස්ගෙත් ගෝලයො, අඳින නූල්'පොටේ ඉඳං තැං තැං වල, කෑලි කෑලි වලට බෙදිල සමානාත්මතාවෙයි, සහජීවනේ ගැනයි බණ කියනව සීයෙ. ශ්‍රද්ධාව කියලා එකකිං අපේ උංගෙ ඔලු අවුල් වෙලා හින්ද, මුං කෙලින කෙප්පවල් අපේ උංට තේරෙන්'නෑ සීයෙ. අඬන්න දේවල් ගොඩාරියක් තියෙද්දි මෙහේ ඉන්න උඹේ බොස්ගෙ ගෝලයොත්, උඹේ ඇඳුං ටික නිල්'කුඩු දාල හේදුව කියල පහුගිය දවස් ටිකේ නහයෙං ඇඬුව සීයෙ.

ඔහෙ වගේ මෙහෙ සීතල නැති'උනාට මෙහෙ හැටියට මේ'කාලෙට මෙහෙත් පට්ට සීතලයි සීයෙ. අල්ලපු රටේ තරං නැති උනාට මෙහෙත් රෑ'ට පාරවල් අයිනෙයි, හන්දි ගානෙයි බුදියගන්න මිනිස්සු ඉන්නව සීයෙ. උංටත් දවල්ට රස්නෙයි, රෑ'ට සීතලයි. උඹ දන්නවද සීයෙ.. රෑ'ට අපේ හන්දියෙ කඩපිලක බුදියගන්න සීය'කෙනෙක්ට ගිය අවුරුද්දෙ මං දුන්නු බෙඩ්'ෂීට් එක තවමත් රෑ'ට පොරවගෙන බුදියං ඉන්න'හැටි, රෑ තිස්සෙ රස්තියාදු ගහනකොට මං දකිනව බං.., ඒ වෙලාවට හිතට දැනෙන්නෙ පට්ටම සතුටක් සීයෙ. කළුතර පැත්තෙ ඉන්න අපේ නෑයො කට්ටියක් කුරුණෑගල පැත්තෙ ආරන්නෙ'කට ලොකු දානයක් දුන්න සීයෙ. එතෙන්ට දානයක් දෙන්න හරි අමාරුයිලු. දිනේ බුක්'කරෙත් අවුරුද්දකට කලිං'ලු. ඒ'කියන්නෙ අඩුවක් නැතුව කන්න බොන්න තියෙන තැනක්නෙ සීයෙ. අපේ නෑයො මං ගැන හිතන්නෙත් එයාලගෙ විදිහටම නිසා, මහත්ඵල'මහානිසංස'ද මොනවද ලැබෙනව කියල මටත් අනිවාර්යෙං එන්න කිව්ව සීයෙ. මටත් මං ඔව්වා ගැන හිතන විදිහෙ වැ‍රැද්දක් තියෙනවද කියලා බලාගන්න ඕන'උනු නිසාම වැඩේට ගියා සීයෙ. ලොකු වැඩක් නිසා කට්ටිය කලිං දවසෙ රෑම කුරුණෑගලට සෙට්'උනා. කළුතර ඉඳං කුරුණෑගලට එනකං කඩපිල් වල සීතලේ ගුලි වෙලා නිදාගෙන හිටපු එකෙක්ව'වත් අපේ'උං දැකලා තිබුණෙ නෑ සීයෙ. වැඩේට ලක්ෂ දෙකහමාරක් විතර වියදං උනාලු.. හැබැයි පහුවදා හවස, ලිස්ට් ඒකේ තිබුණු මිදි කිලෝ 20 මිස් උනා කියල කට්ටිය ගොඩක් අප්සෙට් එකේ හිටියෙ සීයෙ. මෙහේ ඉන්න උඹේ බොස්ගෙ පිටිපස්සෙ ගාටන එවුංගෙත් ඔයිට වඩා කිසි වෙනසක් නෑ සීයෙ..

අද මං රූප'පෙට්ටියෙ තියෙන මෙහෙ චැනල් ඔක්කොමයි රට චැනල් ගොඩකුයි පත්තු කර කර බැලුව සීයෙ. උඹ මාරම පොරක්නෙ සීයෙ. උඹේ බොස්'ටත් වඩා පොර උඹ'නෙ. මමත් උඹට ආස ඒකනෙ. මට උඹෙං තෑගි ඕන නෑ සීයෙ. රෑ වෙලා යන ගමං මේ පැත්තෙ වරෙං මං ගානෙ පොඩි අඩියක් ගහල යන්න. එන්න'උනේ නැත්තං පිණිමුවාට කියහං මං මිනිහව මතක් කරා කියල. මගේ 'ඩ්‍රීම් ස්ටාර්' එක පිණිමුවා බව මං කිව්ව කියහං. ප්‍රාර්තනාවක් කරන්න වල්ගා තරුවක්වත් පායන්නෙ නෑනෙ. මෙහෙට කඩං වැටෙන්නෙ උල්කාපාත විතරයි සීයෙ. ඔක්කොමල්ල පංගු'පේරුවට වැඩ.. උඹත් එහෙමනෙ..
නත්තල අපිට හිනාවෙනව සීයෙ.
මට ලැජ්ජයි, ඉතිං ඇති.

මීට,
හරකා.


Saturday, December 21, 2013

හූනා චිකයි...

ටික'කාලෙකට කලිං හරක The Babymakers කියල ‍ෆිල්ම් එකක් බැලුව. දරුවො නැති විවාහක යුවලක්, තමංගෙම දරුවෙක් හදාගන්න ගන්න උත්සාහයයි කතාවෙ තියෙන්නෙ. ඒකෙ, හරකගෙ හිතට වැදුනු දෙබසක සිංහල අනුවර්තනයයි මේ..,
"යකෝ තොට පිස්සුද ?
අපි අඳින ජංගියෙ ඉඳං හැම ඇටයක්ම හදන්නෙ උං. මට නං මේ made in china මගුල් ඇති වෙලා.
රෙද්ද... දැං උං අපිට ළමයිනුත් හදලා දෙනවද ?"

දවස් කීපෙකට කලිං BBC news වල කියපු දෙයක් නිසයි හරකට මේ දෙබස මතක් උනේ..
චීනය විසින්, මහා බ්‍රිතාන්‍යයේ ඩොලර් බිලියන 6ක් ආයෝජනය කරන්න එකඟ උනාලු. ඒ'ගැම්මටම බ්‍රිතන්‍යය ඩොලර් බිලියන 4ක ණය'කුත් අරං චීනෙං. චීන්නු පහුගිය අවුරුදු 30හේම ආයෝජනය කලාට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්, පහුගිය මාස 18 ඇතුලත බ්‍රිතාන්‍යයේ ආයෝජනය කරලා කියලත් ඒ'එක්කම කියවුනා.

ලෝකෙ දෙවෙනියට ලොකුම ආර්ථිකේ තියෙන්නෙ චීනෙට. යුක්රේනයේ භූමියෙන් 5%ක ප්‍රමාණයක් අවුරුදු 50කට බද්දට ගන්න චීන්නු, ගිය සැප්තැම්බර් මාසෙ ඒ රටේ රජයත් එක්ක ගිවිසුමක් ගැහුව. ඉතියෝපියාව, තායිවානය, ඉන්දුනීසියාව, කොංගෝව, සුඩානය, ඉන්දියාව වගේ ලෝකෙ පුරාම රටවල් ගොඩක(ලිව්වේ එක සැරේ මතකයට ආපු රටවල් පමණි. තව ගොඩාආආආරියක් ඇත.) මේ'වෙනකොට චීනෙට අයිති කෘෂිබිම් තියෙනව. ඕස්ට්‍රේලියාවෙ තිබුණු ලොකුම කපු ගොවිපොලත් ගිය'අවුරුද්දෙ චීන්නු සල්ලි දීල ගත්ත. 2030 වෙද්දි ලෝකය තුල සිද්දවෙන ආයෝජන වලිං 30%ක්ම කරන්නෙ චීනෙ බවට ලෝක බැංකුව ගණං'බලලා තියෙන බවත් හරක මාස කීපෙකට කලිං නිවුස් එකක ඇහුව. ඒ'විතරක්යැ.. චීන සමාගම් විශාල ප්‍රමාණයක් විවිධ නිෂ්පාදනත් එක්ක ලෝකෙ පුරාම පැතිරිලා. අපි පාවිච්චි කරන ගොඩක් දේවල් "made in china" බව හැමෝම දන්නවනෙ...("ලාබ බඩුවෙ හිලක්" කියලා අපේ මුත්තෙක් කිව්වෙ පාහියන් ලංකාවට එන්නත් කලිං කියලත් හැමෝම දන්නවනෙ..)

හැබැයි ඉතිං අපේ දේසෙ පාලනේ කොරන උගත්,බුද්ධිමත් මහත්තුරු ටික නං චීනා ගැන හිතං ඉන්නෙ, චීනාට චීනෙ ඇරුනම රටකට තියෙන්නෙ ලංකාව විතරයි කියලද කොහෙද.. ඒත්, ඉතාම සරල කාරනා අධ්‍යයනය කරල බැලුවත්, චීනා ගහන්නෙ පට්ට ගේමක් බව ඕන හරකෙකුට තේරෙනව..

ඕං පොඩි අතීත කතාවක්;
නපුංසක චීන සෙන්පතියාගේ ලංකාවේ පාලකයා කුදලන් යෑම
( මොහොතක් හිතන්න.මේ වැළලුනු අතීතයයි )
ඒ වසර ක්‍රි.ව 1405 ය. ලංකාව තුළ ප්‍රධාන දේශපාලන ඒකකයන් දෙකක් මේ වන විට පැවතිනි. ඉන් ප්‍රධාන රාජධානිය ගම්පොල වූ අතර එහි පාලකයා වුයේ 5 වන බුවනෙකබාහු අවෑමෙන් 1391දී ගම්පොල රජ වන වීරබාහු කුමාරයා ය. මේ වන විට රයිගම ප්‍රදේශයේ විරබාහුගේ සොහොයුරු 11වන වීර අලකේශ්වර ප්‍රාදේශීය පාලනයේ නිරත විය.නමුත් ඔහු ගම්පොල පාලකයා ගේ ආධිපත්‍ය නොසැළකුවෙක් විය. එනිසාවෙන් ම 1396 පමණ කාලයේ වීරබාහු, අලකේශ්වරට පහර දෙන අතර අලකේශ්වර ඉන්දියාවට පලා යයි. ඒ අනුව මිට පෙර නිශ්ශංක අලගක්කෝනාර සෙනවියා විසින් සෑදු කෝට්ටේ බලකොටුව තම පාලන මධ්‍යස්ථානය කරගන්න වීරබාහු, එහි සිට රාජ්‍ය විචාරයි.
මේ අතර වාරයේ 1405 දී පමණ චීනයේ යුං - ලෝ අධිරාජ්‍යයාගේ දේශපාලන බලය ඉන්දියන් සාගර කලාපයට ව්‍යාප්ත වීම ඇරඹේ. තම අන්ත:පුරය භාරව සිටි විශ්වසනීය නපුංසක සෙනවියකු වූ චෙං - හෝ සෙනවියා මෙම බලව්‍යප්තියේ මුලිකයා වේ.
සුමාත්‍රාව - මලයදේශය පසුකරමින් ඉන්දියන් සාගරයට පිවිසෙන චෙං - හෝ දකුණු ඉන්දියාවේ තොටුපළවල් හරහා යද්දී ලංකාවටද ගොඩබට වග චීන මුලාශ්‍ර වල දැක්වේ. නමුත් වැඩි යමක් ඒ ගැන සඳහන් නොවේ.
මේ අතර ඉන්දියාවට පලා ගිය වීර අලකේශ්වර 1409 දී යලි පැමිණ වීරබාහු මරා දමා රයිගම යලි රජ වෙයි.
1409 දීම චෙං - හෝ ගේ දෙවන ලංකාගමනය ද සිදුවේ.
මේ අවස්ථාවේ ලංකාවේ පාලකයන්ට තුටු පඬුරු ද බුදුරදුන්ගේ ආගමික ස්ථානයකට පිදීමට පුද පඬුරු ද ඔහු ගෙනවිත් තිබේ. නමුත් මේ මොහොතේ රයිගම පාලකයා වූ අලකේශ්වර චීන සෙනවියා කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ නිසාවෙන් චෙං හෝ සෙනවියා දකුණේ දෙවිනුවර උපුල්වන් දෙවොලට ඒ පුද පඬුරු පුද දී පර්සියන් - චීන - ද්‍රවිඩ යන භාෂාවන් ගෙන් යුක්තවූ සුප්‍රසිද්ධ "ත්‍රයිභාෂා" සෙල්ලිපිය කරවා යළි චීනයට පිටව යයි.
නමුත් 1411 දී චෙං - හෝ යළි පැමිණේ.
3000කට අධික සේනාවක් ද සමඟිනි. චීන මුලාශ්‍ර දක්වන ආකාරයට 15000ක පමණ සේනාවක් ද සමඟින් වීර අලකේශ්වර යුද්ධයට සුදානම් වී ඇත.නමුත් ඔහුගේ යුධ සුදානම ගැන චීන සෙනවියාට මෙරටින් ම ලැබෙන ඔත්තුවක් අනුව වහා ක්‍රියාත්මක වන චෙං - හෝ ප්‍රථමයෙන් පහර දී දින 6ක යුද්ධයකින් පසුව අලකේශ්වර හා ඔහුගේ පවුලේ පිරිස සිරභාරයට ගනී.
ඉන්පසුව ඔවුන්ව චීනයට රැගෙන යයි.
මේ වන විට සෙන්කඩගල (ගම්පොල ) පාලනය ගෙනයමින් උන්නේ සේනාලංකාධිකාර ප්‍රභූ පවුලට නෑ ඇති "පරාක්‍රම ඈපා" නම් කුමාරයෙකි.
යුං -ලෝ අධිරාජ්‍යයා විසින් අලකේශ්වර ඇතුළු පිරිසට ජිවිතදානය දී යලි ලක්දිවට එවන අතර මෙරට පාලකයා ලෙසින් පරාක්‍රම ඈපා නම් කරයි.එම නම් කිරීමේදී අලකෙශ්වරගෙන් ද නමක් ඉල්ලු බව දැක්වේ.
මෙම නාමකරණයේ දී නියතවම චෙං - හෝ සෙනවියා ගේ උපදෙස් ද අධිරජු ලබාගන්නට ඇත. ඒ අනුව චීන අධිරජු පරාක්‍රම ඈපා නම් කිරීම තුළ ම අලකේශ්වර සම්බන්ධ ඔත්තුව දීමේ සැකය පරාක්‍රම ඈපා වෙත එල්ල වෙයි.
කෙසේ නමුදු එතැන් පටන් ලංකාවේ පාලකයෝ චීනයට යටත් පඬුරු ගෙවීමක් සිදු කොට තිබේ. 1416, 1421, 1430, 1432, 1433, 1436, 1445, 1459 යන වර්ෂ වල ඒ අනුව තුටු පඬුරු රැගත් ලාංකේය දුත පිරිස් චීනයට ගොස් තිබේ.
අවසාන වශයෙන් මෙතුවක් පමණක් කියමි.

" වර්තමානයේ හා අනාගතයේ සිදු වන සෑම ක්‍රියාවක් ම අතීතයේ සිදු වී අවසන් ය. මේ මොහොතේ එකම වෙනස, සිදුවීමේ මුහුණුවර ම පමණි. සිදු වන්නේ එකම දෙයකි "

~ නුතන ~ 
(02.11.2013)
----------------------------------------------

පහලින් තියෙන්නෙ ලංකාව රටක් විදිහට දියුණු වෙන්න අනිවාර්යෙන් බලපාන අංශ කීපයක් සඳහා 2014 අයවැයෙන් වෙන්කරා කියන මුදල් ප්‍රමාණයන් ;


  • ළමා සංවර්ධනය හා වනිතා කටයුතු                             රු. බිලියන 1.24
  • සංස්කෘතික හා කලා කටයුතු                                       රු. බිලියන 1.48
  • විදුලි සංදේශ හා කාර්මික තාක්ෂණය සඳහා                රු. බිලියන 0.957
  • විදේශ සේවා ප්‍රවර්ධනය හා සුබසාධක කටයුතු           රු. බිලියන 0.58


නමුත්, පසුගියදා විවෘත කරපු කොළඹ-ක‍ටුනායක අධිවේගී මාර්ගය සඳහා
එක කිලෝමීටරයකට වැයකර ඇති මුදල                               රු. බිලියන 1.80

ඒ'විතරද... ලබන අවුරුද්දටම..;
  • අධ්‍යාපනය සඳහා                                                       රු. බිලියන 38.84
  • වාරි හා ජල සම්පත් කලමණාකරණය සඳහා               රු. බිලියන 41.2
  • කෘෂිකර්මය සඳහා                                                      රු. බිලියන 44.47
  • උසස් අධ්‍යාපනය සඳහා                                              රු. බිලියන 29.5
  • විදිලිය හා අනෙකුත් බලශක්ති සඳහා                          රු. බිලියන 23.74

නමුත්, දිගින් කිලෝමීටර් 25.8ක් පමණක් වන කොළඹ-ක‍ටුනායක කෙටි අධිවේගී මාර්ගය සඳහා
මුළු වියදම                                                                           රු. බිලියන 45.7 

දැං හරක කියන්න හදන්නෙ අධිවේගී මාර්ගය එපා කියල හරි, ඒක වර්ජනය කරමු වගේ දේශප්‍රේමී අදහසක් නෙමෙයි. හරක ඉන්නෙ මෙවැනි මාර්ග රටට අවශ්‍යයි කියන තැන. නමුත් මේක හදන්න සල්ලි වැඩිපුරත් එක්ක වියදම් කරත්, මීට වඩා ගොඩක් අඩු වියදමකින් මේක හදන්න තිබුණු බව දන්නෝ දනිති. මේවට අදාල තාක්ෂණික කාරනා පැහැදිලි කරා කියල මිනිස්සු ඒව තේරුං ගන්නෙත් නෑ, තේරුංගන්න දැනුමකුත් පොදුවේ වැඩි පිරිසකට නෑ. සරලවම කියනවනං අධිවේගී මාර්ග සඳහා මේ වෙනකොට ලෝකෙ පාවිච්චි කරන තාක්ෂණයට සාපේක්ෂව මේක පලමු පරම්පරාවේ පාරක්. හැබැයි අපිට තව කාලයක් යනකං චීනා'ට ගෙවන්න ලොකු පොලියකුත් එක්ක ණයක් නං ඉතුරු වෙලා තියෙනව.(වැඩියෙන් වියදම් වූ මුදල් වැ‍ටුනේ චීනාගේ සාක්කුවට පමණක්' නොවන බවද සලකන්න)

මේ පැත්තකින් තියෙන්නෙ චීනෙ බෙයිජිං නගරෙ රථවාහන තදබදය නිසා ශ්‍රමිකයන්ගෙ කාලෙ අපතේ නොයන විදිහට ගමන් කරන්න අලුතෙන් හඳුන්වාදෙන්න ප්ලෑන් කරල තියෙන බස් වලිං එකක්(මේconcept එකක් විදිහට එලියට එන්නෙ 2010දි). චීනෙ කරන්න හදන ඒවා මෙහෙ කොරන්න බෑ තමයි. නමුත් ලංකාව වගේ සංවර්ධනය වෙමිං තියෙනවා කියන තුන්වෙනි ලෝකෙ රටවල් වල සංවර්ධනය සඳහා කරන ව්‍යාපෘති, චීනා විසින් කරන්න බාරගන්නෙ, චීන්නු විසින්ම ඒ රටවල් වලට දෙන ණය මුදල් වලිං. හැබැයි උංගෙ තාක්ෂණෙං 1/8ක්වත්(අරික්කාලක්'වත්) මේ ව්‍යාපෘති වල ගෑවිලාවත් නෑ.
CHOGM පටන්ගන්න කලිං ඒකෙ කටයුතු අධීක්ෂණයට ලංකාවට ආපු පිටරට උදවිය කියලා තිබුණා, චීනා හදපු නෙළුම් පොකුණ රඟහලේ, ප්‍රභූවරුන්ට ගමන් කිරීමට සුදුසු සෝපන තියෙන්නෙ එකයි, ඒ නිසා ඒක නුසුදුසුයි කියලා... ඊට පස්සෙ නැට්ට ගිනිඅරං අපේ කට්ටිය අලුතෙං සෝපාන හදන්නත් කටයුතු කරලා තිබුණා. (හරක නං හිතන්නෙ, ප්‍රභූන්ට කියලා වෙනම සෝපාන ඕන නැ.., හදනවනං ඒ සියල්ල ප්‍රභූන්ට මෙන්ම සාමන්‍ය මිනිස්සුන්ටත් සුදුසු විය යුතුයි කියලා.) හැබැයි හරක කොහොම හිතුවත්, ආසන 1228ක් තියෙන රඟහලකට ප්‍රභූන්ට කියල තියෙන්නෙ එක සෝපානෙ නං, මේක හදන්න ප්ලෑන් කරපු ඉංජිනේරුවෝ කියන එවුං මොලේ උඩ වාඩි වෙන එවුංද කියලයි හරකට අහන්න වෙන්නෙ...


හරකට මෙහෙම ප්‍රශ්නෙකුත් අහන්න තියෙනවා. ලංකාවෙ කොමඩ් ෆ්ලෂ් කරන කෑල්ලෙ ඉඳං අධිවේගී මාර්ග වෙනකං ඔක්කොම චීනට හදන්න බාරදීල තිබුණට, මේ හැම තැනකම ඒවා අධීක්ෂණේට ලංකාවෙ ඉංජිනේරු මහත්තුරුත් ඉන්නවනෙ. මුන්ට මේව පේන්නෙ නැද්ද ? නැත්තං
තේරෙන්නෙ නැද්ද ? අඩුගානෙ රිපෝට් එකක් ලියන්නවත් කොඳුනාරටියක් නැද්ද ? නැත්තං කොඳු කඩල'දාලද ? ඒ'ඔක්කොමත් නෙමෙයි නං, ලංකාවෙ ඉංජිනේරු මහත්තුරු කියන එවුං දන්නෙත්, අපි වගේම කුරුංබැට්ටියට ඉර‍ටු ගහලා මැෂිමක් හදන්න විතරද ???
චීන්නු නං දැං හඳට චන්ද්‍රිකා එහෙමත් යවනවා, හැබැයි උංට හදන්න දීල තියෙන, ලංකාව පුරා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති හැම එක
ක්ම වගේ හැදෙන්නෙ, චයිනීස් ෆෝන් වගේ පිට ඔපේට විතරයි. ඒ පිට ඔපෙත් තියෙන්නෙ පරම්පරා කීපෙකට පිටිපස්සෙං බව ගොඩක් අය දන්නෙ නෑ.

පට්ට අලාභයක් තියෙන හම්බන්තොට වරාය ව්‍යාපෘතියට චීන්නුංගෙං ගත්තු ණය වල පොලියත්, ඕං චීනා තව 5%කින් වැඩි කරලා. කොහොමිං'කොහොම හරි ලංකාව චීනාට පොලියත් එක්ක ගෙවන්න තියෙන ණය(ඉස්සරහට ගන්න නියමිත ණය හැර) තව පරම්පරා ගානක් යනකං ගෙව'ගෙවා ඉන්න වෙන බව නං පැහැදිලියි. ආණ්ඩුව පරසක්වල ගහලා කොළඹ වරායෙ අලුතෙන් හදාගත්තු ජැටියත් 2042 වෙනකං අයිති අපිට තියා අඩුගානෙ මහින්ද මාමට'වත් නෙමෙයි, චීනෙට..
හරකා ලංකාව ගැන වැඩිපුර කියෙව්වට, අපි වගේම චීනා'ව ලං'කරගෙන ඉන්න හැම රටක්ම චීන ගුන්ඩු වල රහ බලමිනුයි ඉන්නෙ. ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට ඇහැ'ගහගෙන, කන'දීගෙන ඉන්නවනං මේ'වෙන දේවල් තේරුං ගන්න මොලය ස්වල්පයක් හොඳටෝම ඇති.

හූනා ලෝකෙටම චිකාගෙන යනවා..
අනේ.. අපිට මොකෝ.. අපේ මොකෝ.. නේ..
මේ හුරුබුහුටි දිවයිනේ ආශ්චර්ය විඳගෙන දැහැමෙන් සෙමෙන් දිවි ගෙවන අපිට නං..,
පුංචි ළිඳේ වතුර රහයීඊඊඊඊ...

ප.ලි.

* ලිපියේ සමහර තොරතුරු තිසරණී ගුණසෙකර'ගේ "Children Of A lesser God" යන ලිපිය ඇසුරෙනි.
* අතීත කතාව බුකියේ මිතුරෙක්(දෙසවන් සමීර දයාරත්න) තැබූ සටහනකි.

Saturday, November 30, 2013

තෝත් කැම්පස්ද ?


‍තෝත් කැම්පස්ද ?
බ්ලොගක් ලියනවද ?

නැත්තං ලියන්න හිතං ඉන්නවද ?
එහෙනං ඕං තැන...
කොටා බලාපිය !


Saturday, September 7, 2013

Lotto... - ඔටෝ ' පෝසත් වෙන්න කැමති අයට...

හරක පොඩි'කාලෙ හරකගෙ නෑදෑයො , ගෙවල් පැත්තේ ඉන්න සමහර අය' එහෙම හරකට කියලා ලොත‍රැයි ටිකට් ගෙන්න'ගන්නවා. එයාලට විශ්වාසයක් තිබුණා හරක හරි වාසනාවන්තයි කියලා. එහෙම හිතුවෙ ඇයි'ද කියලා නං දන් නෑ. හැබැයි තවමත් ඉඳලා'හිටලා හරක ලව්ව ටිකට් ගන්න අය ඉන්නවා. දන්නා තරමින් කාටවත් ඒව ඇදිලා නං නෑ. ඇදිලා' නොකියපු අය ඉන්නවද දන්නෙත් නෑ. කොහොමහරි මේක පොඩි'කාලෙ ඉඳලම සිද්ද'උන නිසා හරක ගන්න ටිකට් ඇදෙන්න වැඩි'ඉඩක් තියෙනවා කියල අදහසක්, නොදැනුවත්වම හරකගෙ හිතෙත් තැන්පත් උනා. ඉතිං සමහර වෙලාවට හරකා, යාළුවන්ගෙ උපන්'දින වලට එහෙම birthday present එක විදිහට ලොත‍රැයි ටිකට් එකක් අරං ලියුම්'කවරෙක දාලා දෙනවා. ඒ'වැඩෙන් හරකටත් ලාබයි , ඇදුනොතිං යාළුවට පට්ට ලාබයි. මේ'නිසා ගෙවල්'පැත්තෙ සමහර යාළුවො'ගෙන් හිනා'වෙවී බලු'බැනුම් අහගෙනත් තියෙනවා. හැබැයි බැන්නට උං එකෙක්වත් තෑග්ග රිටර්න් කරලත් නෑ...
ඒ'ඇරුනම ලොත‍රැයි ගන්න පුරුද්දක් හරකට නැති'උනත්, සමහර ලොත‍රැයි විකුණන අය දැක්කම එන ෆීලිං එකත් එක්ක සමහර දවස් වල ටිකට් අරං තියෙනවා. ගොඩක් වෙලාවට ඒව ඇදුනද කියලා බලන්නත් අමතක වෙනවා. හැබැයි මෙච්චර කාලෙකට බලන්න මතක්වුනු ඒව'ගෙන් නම් 5000කුයි 1000කුයි 20සෙ කෑලි 2කුයි ඇදිලා තියෙනවා... අනිත් ඒව ඇදිලා නෑ... ඒ'තමා හරකගෙ ලොත‍රැයි පිළිබඳ අත්දැකීම...

ලොත‍රැයි තියෙන්නෙ ලංකාවෙ විතරක් නෙමෙයි. ගොඩක් රටවල පුද්ගලික කොම්පැනි විදිහටත්, රාජ්‍ය මට්ටමෙනුත් ලොත‍රැයි විකිණීම සිද්ද'වෙනවා. හරක නං මේ ලොත‍රැයි දකින්නෙ, නැති'බැරි මිනිහගෙ තුට්‍ටු දෙකට විදින්න බිහිවුණු තවත් එක් ක්‍රමයක් විදිහට..(රජය විසින් නීත්‍යානුකූලව මුදල් මංකොල්ල කෑම - හරියට සමහර බදු වගේ...)
ඒ'කොහොම වෙතත් නැති'බැරි අය විතරක් නෙමෙයි, සමාජෙ සියළුම ස්ථර අතරෙ ලොත‍රැයි මිලදී'ගන්න අය ඉන්නවා. කවුද ඉතිං අකමැති ඔටෝ පෝසත් වෙන්න...

හරකට අනුව නං, කැමති කෙනෙක් කැමති විදිහකට ලොත‍රැයි ගත්තාවෙ... කිසි අවුලක් නෑ. මොකද, ගන්න'නොගන්න තීරණය තමුංගෙ... කාට'උනත් ඇදුනොතිං නරකයැ...
හැබැයි, මේ' ලොත‍රැයි ගන්න ගොඩාක් අය (හරකට හිතෙන විදිහට 90%ක්'වත්..) තමං ගන්න ලොත‍රැයියට පළමු තෑග්ග ඇදෙන්න තියෙන සම්භාවිතාව ගැන , එහෙම නැත්තම් මොන'විදිහක හෝ දිනුමක් ඇදෙන්න තියෙන්නෙ මොන'වගේ ඉඩක්ද කියලා හරියට දන්නෙ නෑ. ඒ'ගැන හැකි'තරම් සරලව කියන එක තමා අද හරකගෙ ලිපියෙ අරමුණ...

අපි නිකමට හිතමු මල් 100ක් තියෙනවා..(රතු මල් 1යි , සුදු මල් 99යි)
මේ මල් 100යෙන්, 50ක් ගෝනියකට දාල, බලන්නෙ නැතුව අත'දාල 1'මලක් ගන්න කියනවා. එහෙම ගන්න මල, රතු'පාට මල වෙන්න පුළුවන්ද ? "ඔව්", පුළුවං.. එහෙම වෙන්න ඉඩ'තියෙනවා... හැබැයි රතු මල තියෙන්නෙ ගෝනියට දාපු නැති මල් ගොඩේ නං.. ?????
මේ 'මල්' උදාහරණෙත් එක්ක, ඊළඟට කියන දේවල් තේරුම්'ගන්න ලේසි'වෙයි කියලා හරකා හිතනවා...

ගණිතයේ එන "ක්‍රමාරෝපිත ගණනය කිරීම" ගැන, ගණං'කාරයො නං දන්නවා. හැබැයි ඒකෙ මූලික අවස්ථාවන් තේරුම් ගන්න ඕනම කෙනෙකුට පුළුවං, හරි ලේසියි. ගණං'කාරයෙක් වෙන්නම ඕන නෑ.
අපි හිතමු, ලොත‍රැයියක් ගහනවා අංක 3ක් තියෙන.. ඒකෙ අංකයක් සඳහා පාවිච්චි කරන්නෙත් 0,1,2 කියන ඉලක්කම් විතරයි කියලා හිතමු.
දැං අපි බලමු 0,1,2 යන ඉලක්කම් පාවිච්චි කරලා අංක රටා කීයක් හදන්න පුළුවන්ද කියලා. පහල තියෙන්නෙ එහෙම හදන්න පුළුවං රටා ටික...
0,0,0          1,0,0          2,0,0
0,0,1          1,0,1          2,0,1
0,0,2          1,0,2          2,0,2

0,1,0          1,1,0          2,1,0
0,1,1          1,1,1          2,1,1
0,1,2          1,1,2          2,1,2

0,2,0          1,2,0          2,2,0
0,2,1          1,2,1          2,2,1
0,2,2          1,2,2          2,2,2

අංක රටා 27ක් හදන්න පුළුවං. ඒ'කියන්නෙ අපි උදාහරණයක් විදිහට උඩිං ගත්ත ඉලක්කම් තුනේ ටිකට් එකෙන්, අපිට එකිනෙකට වෙනස් ටිකට් 27ක් ප්‍රින්ට් කරන්න පුළුවං කියන එකයි. ලියලා බලන්නෙ නැතුව මෙන්න මේ විදිහට ගණනය කලොත් අපිට ටිකට්'පත් ගණන ලබා'ගන්නත් පුළුවං.
දැං අපි 'මහජන සම්පත' වගේ ටිකට් එකක් උදාහරණයක් විදිහට අරගෙන ඒකෙ අංක රටා කීයකින් ටිකට් ප්‍රින්ට් කරන්න පුළුවන්ද කියලා බලමු.
තව උදාහරණයක් විදිහට අර ලග්න තියෙන ටිකට් එක'කත් අංක රටා කීයක් තියෙනවද කියලා බලමු.
එක දිනුම් වාරයක් සඳහා ලොත‍රැයි'පතකට ඇතුලත් කල'හැකි අංක රටා ගණන හොයා'ගන්න විදිහත් , ලොත‍රැයි'පතේ අංක,අකුරු හෝ රුප භාවිත කරන ප්‍රමාණය අනුව එම රටා ගණන අඩු'වැඩි වෙන බවත් දැං තේරෙනවා ඇති.
හරක දන්න තරමින්, ලංකාවෙ එක දිනුම්'වාරයක් සඳහා එක ලොත‍රැයි වර්ගයකින් ටිකට්පත් ලක්ෂ 20ත් 40ත් අතර ප්‍රමාණයක් ප්‍රින්ට් කරනවා. මොකද ඒ'තමයි සාමන්‍යයෙන් ලංකාවෙ එක ලොත‍රැයියකින් විකිණෙන ටිකට් ප්‍රමාණය... ඉතිං දැං ඔයාලට හිතාගන්න පුළුවං, 'සුපිරි ත්‍යාගය' කියන 'රතු මල' වැඩිපුරම තියෙන්න ඉඩ තියෙන්නෙ ගෝනියෙන් පිට බව. කොහොමත් ලෝකෙ කිසිම ලොතරයියක, එක වාරෙකදි ප්‍රින්ට් කරන්න පුළුවං සියළු අංක රටා භාවිත කරල ඔක්කොම ටිකට් ටික ප්‍රින්ට් කරන්නෙ නෑ. ප්‍රින්ට් කරන්නෙ යම් සීමාවකට විතරයි. ඒ වගේම, එකම අංක රටාව සහිත ටිකට් දෙකක් ප්‍රින්ට් නොකර ඉන්නත්
ඒ ඒ කොම්පැනි වග බලා ගන්නවා. මොකද, නිකං'හරි ඇදුනොත් සුපිරි ත්‍යාග දෙකක් දෙන්න වෙනවනෙ... සුපිරි ත්‍යාගය ඇරුනම අනිත් ත්‍යාග සඳහා සම්භාවිතාවත්, ඊට වඩා ඕන'නං දශම ගානක් වැඩියි... එච්චරයි.

හරකගෙ ලොත‍රැයි පාඩම නං ඉවරයි. හැබැයි තව දෙයක් කියන්න තියෙනවා.

2008'දි, ඒ වෙනකොට තිබුණු සියළු ලොත‍රැයි වල මිල රු.10 සිට රු.20 දක්වා වැඩි කලා. ටිකට් ගන්න අයට මතක ඇති, මේ මිල වැඩි'කිරීමත් එක්කම ජැක්පොට් එකත් වැඩි'උනා. හරකට මතක විදිහට ඒ කාලෙ ජැක්පොට් එකට රු. කෝටියක් දුන්නෙ මහජන සම්පත ලොත‍රැයියෙ විතරයි. අනිත් ඒ'වල ලොකුම තෑග්ග ලක්ෂ 10ක් හෝ 20ක් තමයි උනේ. නමුත් 2008දි ටිකට් වල මිල වැඩි'වෙනවාත් එක්කම හැම ටිකට් එකේම වගේ ජැක්පොට් එකත් රු. කෝටිය දක්වා වැඩි'උනා. ඉතිං වැඩි'උනු ජැක්පොට් එක ගැන මාර මාර වර්ණනා එක්ක TV, radio, පත්තර ඇඩ් 'වලිං ඒ'කාලෙ පිරිලා තිබුණු බව ටිකට් ගන්න අයට වගේම නොගන්න අයටත් මතක ඇති.
හැබැයි, ඒ ඇඩ්ස් වල කියවුනේ නැති කාරණයක් තියෙනවා...

කලිං ;
අංක රටාව:  00 00 00 00 විදිහට තිබුණු ටිකට් වලට ජැක්පොට් එක වැඩි'වෙන ගමන්, තව ඉංග්‍රීසි අකුරක් හෝ ලග්නයක් හෝ සුපිරි අංකයක් හෝ මොකක්හරි මගුලකුත් එකතු'උනා.
කලිං ;
අංක රටාව: A 0 0 0 0 0 විදිහට තිබුණු ටිකට් වලට ජැක්පොට් එක වැඩි'වෙන ගමන්, අංක ඩබල් උනා..(00)

 හැබැයි, මෙහෙම පොඩියට ඉලක්කමක් හෝ අකුරක් වැඩි උන ගමන්, අංක රටා ගණන නං වැඩි වෙන්නෙ පොඩියට නෙමෙයි, ලක්ෂ'කෝටි ගණනින්.. නමුත් ප්‍රින්ට් කරන්නෙ වෙනදා ගහන ගානමයි.. ඒ බව ගොඩක් අය දන්නෙ නෑ, ලොත‍රැයි ගහන උං කියන්නෙත් නෑ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ,
ලොත‍රැයියක් ඇදෙනවා කියන්නෙ, ඇත්තටම ඇදුනු කෙනා හැබෑම වාසනාවන්තයෙක්... හැබැයි ඒ වාසනාවයන්තයට ලැබෙන්නෙත්, එයා වගේම වාසනාව උරගාල බලුපු තවත් මිනිස්සු දහස් ගානකගෙ සල්ලි සහ හීන වල වටිනාකමයි.

ප.ලි.

* ලංකාවේ, එක් ලොත‍රැයි වර්ගයකින්, එක් දිනුම්'වාරයක් සඳහා ප්‍රින්ට් කරන ටිකට් ගණන, 'දන්නා තරමින් ලක්ෂ 20ත් 40ත්  අතර ගණනක්' ලෙසයි සඳහන් කලේ. නිවැරදිම ගණන හොයා'ගන්න උත්සාහ කලත් බැරි'උනා. හොයාබලන්න දමිත්, ක්‍රිෂානි, මාතලන්, සාරංග මල්ලී උදව් උනා.
හරිම ගණන දන්න කෙනෙක් කමෙන්ට් කරපල්ලා...තෑන්ක්ස්.

* අර පිං'පොං බෝල උඩ'දාල දිනුම් අදින ලොත‍රැයි වල, බෝල එක'සයිස් උනාට, බර වෙනස් කරල හදලා ජැක්පොට් එක සූක්ෂමව පරක්කු කරන්න, ඕනෙ'නං මණ්ඩලේට පුලුවං. මොකද ප්‍රින්ට් කරන සියලු අංක ඔවුන්ගේ දත්ත ගබඩාවෙ තියෙනවනෙ... ඉතිං එහෙම කරනවද දන්නෙත් නෑ... හැබැයි ඒ කාරණේ නං මං කියන්නෙ වගකීමකින් නෙමෙයි. නිකං හිතුනු දෙයක්...

* මේ ලිපිය ලියන්න හිතුනෙ "සෑම්'s BLOG" එකේ සැමා ලියපු ලිපි 2ක් දැකලා. ඒ දෙකත් කෙ‍ටුවොත් බලන්න පුළුවං.
post 1 , post 2