හරක දෙමව්පියංගෙ සල්ලි වලිං සැපට හැදුනු එකෙක්. ඉතිං අහපු, කියවපු, ඉගෙනගත්තු දැනුමෙං ලබපු අත්දැකීම් හැර ප්‍රායෝගික ජීවිතේ ඇතුලෙ හොඳට හෝ නරකට සිද්ද'උනු හැල'හැප්පීම් ඉතාම අඩුයි. සැපට හැදෙන බබාලට සාමන්‍යයෙන් තියෙන, ඊටත් වඩා සැපවත් ජීවිතයක් වෙනුවෙං සියලු දේ කිරීමේ රෝගයක් හරකට තිබුණෙ නෑ. ඉතිං 2006 කියන්නෙ ගෙදර අය, වටපිටාවෙ අය, යාළුවො, නෑයො, සමාජය විසින් හරකා ජීවත් විය යුතු විදිහ හා කලයුතු දේ විදිහට සම්මත කරල තිබුණු දේවල් ඔක්කොටම පයිං ගහල හරකට කැමති දේ හඹාගෙන යමිං හිටපු කාලයක්. පොඩි කාලෙ ඉඳං හරකට රඟපාන්න තිබ්බ ආසාව ඔඩු'දුවන්න ගත්තෙ 2005-2006 වගේ කාලෙ. ඒත් පොඩි කාලෙ ඉඳං කරේ වෙන වෙන වැඩ හින්ද, මේව ගැන හරකට තේරුමක් තිබ්බෙ නෑ. ඉස්කෝලෙදිත් කිසිම කලා කෙරුවාවක් කරලා තිබුණෙ නැති නිසා අළුත් ගමන පටං ගන්නෙ කොහෙන්ද කියලා අදහසක් හිතට ආවෙ නෑ, ඒගැන උපදෙසක්/දැනුමක් ගන්න ඕනෙ කාගෙන්ද කියලා හරක දැනං හිටියෙත් නෑ.
ටෙලිනාට්‍ය වල පොඩි පොඩි කෑලි ඇක්ට් කර කර හිටපු ගෙවල් පැත්තෙ අයියා කෙනෙක්, මේ කාලෙ හරකවත් පොඩි පොඩි ටෙලි කෑලි කීපෙකට සෙට් කරා. ඒත් තුන'හතරකට යද්දිම ඒ'වැඩේ හරකට එපා'උනේ, හරක හොයන දේ මොකද්ද කියල දැනුමක් ඒ'වෙනකොට හරකට නැති'උනත්, ඒක ටෙලි'කෑලි අස්සෙ නං නැති බව දැනුනු නිසා.. අනික, පිටකොටුවෙ පේමන්ට් එකේ බඩු විකුණන මිනිහෙක් මොකක්හරි ජිල්'මාට් එකක් දාල මිනිස්සුංගෙං වැඩිපුර කීයක් හරි කඩා ගන්න එකෙයි , මේ පොඩි පොඩි නළු'නිළි පිස්සො'පිස්සියො ගෙන්නගෙන ටෙලි කෑලි ගොඩ දාගන්න එකෙයි කිසි වෙනසක් නැති බව මොලය ස්වල්පයක් තියෙනවනං ඕන හරකෙකුට තේරෙනව. ඔය අතරෙ තමා හරක පත්තර වල සැරින්'සැරේට දාන ඩ්‍රාමා ඉවෙන්ට්ස් හොය'හොයා බලන්න ගියේ.
නාට්ටි තියෙන්නෙ හවස උනාට, හරක ඒ'කාලෙ ඒව තියෙන තැං වලට උදේම ගිහිං කැරකි කැරකි වෙන්නෙ මොනවද කියලා බලං ඉන්නව. කිසි'කෙනෙක්ව අඳුරන්නෙ නැති නිසා හරක මේ තැං වලට ගියේ හරකගෙ පොත් රාක්කෙ තියෙන කලාවට සම්බන්ද මොකක්හරි පොතකුත් අතේ තියාගෙන**.. , එතකොට කැම්පස් කොල්ලෙක් කියලා හිතල කවුරුවත් යන්න කියන්නෙ නෑනෙ. උදේ ඉඳං කැරකිල කැරකිලා හොයා'ගන්න ඕප'දූප වලිනුයි, හවසට බලන නාට්ටියෙනුයි හරකට තේරුණා මේක හරි දුප්පත් වැඩක් බව. ඒත් කියන්න නොතේරෙන මොකද්දෝ දෙයක් නිසා හරකට මේ ක්‍රියාවලිය බොහොම තදේට හිතට වැදුනා. මේ වෙද්දි "කෙටි නාට්‍ය" කියන්නෙ මොකද්ද කියලා හරක දැනං හිටියෙ නෑ. ඉස්කෝලෙ 6 වසරෙ ඉද්දි තාත්ත බලන්න එක්කං ගිය නාට්ටි** කීපෙ ඇරෙන්න, මුලිංම හරක දිගු නාට්ටියක් බැලුවෙත් මේ කියන දෙසැ.27 වෙනිදට මාස 2කට විතර කලිං.
24 වෙනිදා පත්තරේ කෙටි නාට්‍ය පැවැත්වෙන බව දාල තිබුණා. ඒක දැකල කිසි දෙයක් හිතාගන්න බැරිඋන හරකා 27 වෙනිදා ලුම්බිණියට ගියේ මේ "කෙටි නාට්‍ය" කියන්නෙ මොනවද කියලා බලාගන්න තිබ්බ උවමනාවටමයි.
( මතකයට බාධාවක් සේ දැනෙන බැවින් මෙතැන් සිට හරක්'ෆැන්ටසිය පැත්තකින් තබා ලියමි. )
මට එදා උදෙන්ම යන්න ලැබුණෙ නෑ, ලුම්බිණියට යද්දි හවස 4යි. හෝල් එක ඉස්සරහ ලොකු ඉඩක් නැති නිසා කොරිඩෝව කෙලවරට වෙලා යන'එන අය කරන දේවල් දිහා මං බලං හිටියා. නාට්ටි බලන්න ඒ'වෙද්දි ඇවිත් හිටියෙ මං විතරයි. හිටපු අනිත් අය ඔක්කොම, නාට්‍ය වලට සම්බන්ද අය සහ උළෙල සංවිධානය කරන අය. දොරවල් වහලා නිසා ඇතුලෙ වෙන්නෙ මොනවද කියලා ගිහිං බලන්න විදිහක් තිබුණෙත් නෑ. 6.15 විතර වෙද්දි නාට්ටි බලන්න ඇවිත් හිටපු 40ක විතර පිරිස හෝල් එක ඇතුලට ගත්තා. මම 5වෙනි පේලියෙ වම්පැත්තෙ කොනේම පුටුවෙ වාඩි'උනා. දොරෙං ඇතුල් වෙද්දිම දැකපු, ස්ටේජ් එකේ දකුණු කෙලවරේ නාට්ටියට ලෑස්ති වෙමිං හිටපු අය කරන්නෙ මොනවද කියලා බලා ගන්න හිතාගෙනයි එතන වාඩි'උනේ. කට්ටිය නාට්ටියෙ මොනවදෝ බඩු'මුට්‍ටු වගයක් ලෑස්ති කරමිං හිටියෙ, ඒත් මං වාඩිඋනා විතරයි, තිරේ වැහුවා.
නාට්ටි පටංගන්න නියමිතව තිබුණෙ 6.30ට උනාට සෙනග මදි නිසාද'කොහෙද පටං ගත්තෙ 7 විතර වෙනකං කල්'ඇරලා. නිවේදකයෙක් ඇවිත් පොඩි එනවුන්ස්මන්ට් එකක් දීලා, මට දිරවන්නෙම නැති පොල් තෙල් පහං වලට ගිනිතියන වැඩේ පටං ගත්තා. ඔය අතරෙ ආරාධිත අමුත්තො පස්'දෙනෙකුත් පෝලිමට ඇවිත් දෙවෙනි පේලියෙ මැද, වෙං'කරලා තිබුණු පුටු වලිං වාඩි'උනා.(ඒ ආරධිත අමුත්තන් නොව උළෙලේ වින්ශ්චය මණ්ඩලය බව දැනගත්තේ කලකට පසුවයි) 1st බෙල්'එක වැදුනා. තව ටිකකින් ලයිට් ඕෆ් කරන බව ඒ වෙද්දි මං දන්න නිසා පුටුවෙ හරි'බරි ගැහුන නාට්ටිය බලන්න. ලයිට් යන්න ඔන්න මෙන්න තියෙද්දි ඉස්සරහ දොරෙං හෙල්මට් දෙකක්ද අතැතිව අප්‍රිකානු සම්භවයක් ඇතැයි කියා මට හිතුනු අඩි 9ක් පමණ උස කාලවර්ණ දේහධාරියෙක් ඇතුල්'උනා.(ඒ, ලුම්බිණියේ කුරුමිණි පුටුවක වාඩි වී සිටි මට ඔහුව පෙනුනු විදිහයි.) ඔහු සමඟ තව අක්ක කෙනෙකුත් ඇවිත් දෙන්න'එක්ක මට එහා පැත්තෙ පුටු දෙකෙන් වාඩි'උනා. වාඩි වෙන ගමං "අයියෝ..නොමිලේ පෙන්නලත් මිනිස්සු එන්'නෑනෙ බලන්න" කියල දේහධාරියට කිව්වෙ අර අක්ක. මට මීටර්'උනේ ඒ වෙලාවෙ.., ඇත්ත නේන්නං..මං ටිකට් ගත්තෙත් නෑනෙ, ගන්න තැනක් තිබුණෙත් නෑනෙ. හෝල්'එකේ ඔක්කොම හිටියෙ 70ක් විතර. රටේ තත්වෙ එක්ක කලාවක් විදිහට, "කෙටි නාට්‍ය" තියෙන්නෙ කොතනද කියලා හිතන්න අර අක්ක කිව්ව දේ ඒ වෙලාවෙ මාව පෙලඹෙව්වා. ඒත් හිතන්න පටං ගත්ත ගමං ලයිට් නිවුනා. 3rd බෙල්'එක වැදුනා.
ඊලඟ පැයයි විනාඩි 45ක විතර කාලය ඇතුලත මං තුෂ්නිම්භූත වෙලා ගියේ "කෙටි නාට්‍ය" කියලා දෙයක් මං මුලිංම දකින මොහොත ඒක නිසා. එදා.., ගැහැණු මනුස්සයා, රාත්‍රිය, යාපනය බලා ගිය කත, ඔයයි මායි තනියම 'යන නම් වලිං කෙටි නාට්ටි 4ක් තිබුණා. ඒවා කෙටි නාට්ටි විදිහට තිබුණෙ මොන වගේ මට්ටමකද කියල කියන්න මට එදා තේරුමක්/දැනුමක් තිබුණෙ නෑ. පොඩි වෙලාවක් ඇතුලතදි නාට්ටි 4ක්, කතා 4ක්, රස ගොඩක්, වෙනස් වෙනස් නළු'නිළියො ගොඩක්, නාට්ටියෙං නාට්ටියට වෙනස් වෙච්චි ලයිට් ගහන විදිහ, හතර විදිහක මියුසික්, නාට්ටි හතර අතරෙදි චූටි විවේක කාල 3ක්, තිරෙත් හතර'පාරක් ඇරියා'වැහුවා... අම්මට'හුඩු..., මේක නං මාරයි. ඔන්න මට එදා ආපු හැඟීම. වෙනද නාට්ටියක් බලල ඒකෙ තියෙන එක'එක චරිත හිතෙං රඟ'පපා ගෙදර ගිය මං එදා ගියේ නස්කර් වෙලා.
නමුත්, ලුම්බිණියෙ ගෙවපු ඒ පැය කීපෙට අවුරුදු 7ක් පිරෙන අද දවසේ මගේ මතකයට එන වැදගත්ම දේ මේ කිසිවක් නෙමෙයි.
- එදා වින්ශ්චය මණ්ඩලේ හිටපු පස්'දෙනාගෙන් හතර'දෙනෙක්ම පස්සෙ කාලෙක මගේ නාට්‍ය ගුරුවරු වෙන බව මං එදා දැනං හිටියෙ නෑ.
- එදා මං බලං හිටිය වාගෙම කොරිඩෝවේ එහා කෙලවරේ, තව කෙනෙක් සමඟ කතා කරමින් එහෙ'මෙහෙ බලමින් සිටි පුද්ගලයා පස්සෙ කාලෙක මං එක්ක එකට එකතු වෙලා නාට්‍ය කරන මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙක් වෙන බව එදා මං දැනං හිටියෙ නෑ.
- හෝල් එකට කට්ටිය දාන්න විනාඩි කීපෙකට කලිං ගිටාරෙකුත් කරේ එල්ලගෙන කොහෙන්දෝ මතුවූ හාදයා කෙල්ලො කීප'දෙනෙක්ට මල් හී කීපෙකුත් විදගෙන ආව වගේම වැනිෂ් උනා. ඔහු ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනක් තවමත් නියම වටිනාකම හඳුනා නොගත් මල්ටි ටැලන්ටඩ් පොරක් බවත්, මං දන්න කියන අය අතරින් ඉතාම සංවේදී කිහිපදෙනාගෙන් කෙනෙක් බවත්, මං එක්ක නාට්‍ය කීපයකම රඟපාන්නට නියමිත මිතුරෙක් බවත් මං එදා දැනං හිටියෙ නෑ.
- නාට්ටි ඉවර වෙලා කොරිඩෝවට බහිනකොට කලිං කෙනා මල් හී විද්ද තැනම හිටගෙන තවත්'කෙනෙක්, ඉස්සරහට ලියන්න නියමිත නාට්ටියක් ගැන පිරිසකට පොර ටෝක් එකක් දෙමිං හිටියා. ඔහුත් ඉහත පැහැදිලි කිරීම'ම කලහැකි කෙනෙක් බවත්, පස්සෙ කාලෙක එකම නාට්‍ය කණ්ඩායමක මාත් එක්ක නාට්‍ය පෙන්නමිං රට පුරා යන බවත්, එම චාරිකාව පුරාවටම මට, ඔහුගේ කතන්දර වලට අවන්කවම ඇහුම්කන් දෙන එකම පුද්ගලයා බවට පත්වෙන්නට සිදුවෙන බවත් මං එදා දැනං හිටියෙ නෑ.
- මාව දෙවෙනි වරට රඟපාන්න ගන්නේ, එදා දෙවන කෙටි නාට්‍යයේ නිෂ්පාදකයා බව මං එදා දැනං හිටියෙ නෑ.[ ඒ වැඩේ කෙරුනෙත් නෑ :( ]
- මං පලමු වරට විදෙස් නාට්‍ය උළෙලක් සඳහා ලංකාව නියෝජනය කරන්නේ, එදා මං ලඟින් වාඩි වූ කාලවර්ණ'දේහධාරියා සමග ඔහු නිෂ්පාදනය කරන නාට්‍යකින් බව මං එදා දැනං හිටියෙ නෑ.
- මේ වෙනකං රඟපෑම සඳහා මම වැඩිපුරම මනසින් වෙහෙසුනු චරිතය සහිත නාට්‍යයේ මගේ සහයිකාව/යෙහෙලිය/පෙම්වතිය ලෙස රඟපාන්නේ එදා දේහධාරියා සමඟ පැමිණි අක්කා බව මං එදා දැනං හිටියෙ නෑ.
- එදා තිබුණු කෙටිනාට්‍ය අතරින් "මමත් මේ වගේ නළුවෙක් වෙන්න ඕනෙ" කියල මට හිතුනු, එදින මගේ සිත්'ගත් නළුවා පසු කලෙක රඟපෑ නාට්‍ය කීපයකම, ඔහු රඟපෑ චරිත සඳහා මාව තෝරාගනීවි'යැයි මං එදා දැනං හිටියෙ නෑ. 2007 අවුරුද්දෙ අන්තිම වෙද්දි මං හීන මැව්වෙ "මට එංගලන්තෙ RADA විශව'විද්‍යාලයේ ඉගෙන ගන්න තියෙනවනං" කියලයි. RADA හි ඉගෙනීමට යාමට තරම් එදා මගේ සිත්'ගත් නළුවා වාසනාවන්තයෙක් වෙන බව, එදා මං දැනං හිටියෙ නෑ.(මං දන්නා තරමින් RADA'හි මේ වන තුරු ලංකාවෙන් ඉගෙනුම ලබා ඇත්තේ ඔහුත් ඇතුලුව හතර දෙනෙක් පමණි. එහි ඉගෙනීමට වාසනවන්තයෙක් වගේම අනිවාර්යෙන් අති දක්ෂයෙක් විය යුතුමය.)
- එදා මම ජීවිතේ පලමු වතාවට දකින කෙටි නාට්‍ය නිලිය, මාස කීපෙකට පස්සේ නාට්‍ය පාසලේදී මුණගැහිල, එදා සිට අද දක්වා ඉතා හොඳ මිතුරියක් වෙයි කියලා මං එදා දැනං හිටියෙ නෑ.
සාමන්‍ය මිනිහෙක් අවුරුදු 7ක් තුල ලබන අත්දැකීම් සහ අවබෝධකරගැනීම් , සංවේදී කලා'කාරයෙක්ට ලබන්න ගතවෙන්නෙ අවුරුද්දයි කියල මං කොහේ'හෝ කියවපු බව මතකයි. හැබැයි පහුගිය අවුරුදු 7, මට අවුරුදු 49ක් වගේ නොදැනෙන්නෙ මං කලා'කාරයෙක් කියන හැඟීම මට නැති නිසා සහ ඇත්තටම මං කලා'කාරයෙක් නොවන නිසා වෙන්න ඇති. කොහොමත් මම, මං කලා'කරයෙක් කියලා හිතන්න කැමතිත් නෑ වගේම මගේ තියරියට අනුව, මට එහෙම හිතෙනවනං ඒකෙ ලොකු අවුලකුත් තියෙනව.
මොනව'උනත් පහුගිය අවුරුදු 7 ඇතුලෙ මං කරපු'කියපු දේවල් වල ඵල, මේ වෙද්දි මං නෙලමිං ඉන්නෙ.. ඒවා තවත් මොනවාට හෝ අනාගතේදි පාර කපාවි.
ඉවරයි.
. . . . . . . . . . . . . . . . . . . . . . . . .
* ලියනවනං මේ වගේ කතා හැමෝටම තියෙන බව හරක දන්නවා. ඉතිං අතීත ආවර්ජණ වලදි දැනෙන අමුතු සුන්දර හැඟීමෙ මහලොකු විෂේශයක් නැති බව, ඒ හැඟීමෙන් පිටට ඇවිත් හිතනකොට ඕන කෙනෙක්ට තේරෙනවා.ප.ලි.
** පොත අතේ තියාගෙන රවුම් ගැසීම නිසා ලබපු අත්දැකීම් වෙනම කියන්නම්.
** 6 වසරෙදි, හරකා ජීවිතේ මුලිංම බලපු නාට්ටිය ගැනත් වෙනම ලියන්නම්.