Wednesday, December 11, 2013

දොරට වඩින දා... REALITY

මේ ලිපිය ලියන මේ මොහොතේ, කොළඹ මහජන පුස්තකාලෙ "REALITY" නමින් කෘතියක් එලිදැක්වීමේ උත්සවයක් පැවැත්වෙමිනුයි තියෙන්නෙ...
කාලයක් තිස්සෙ එකමුතුව දරපු උත්සාහය සඵල වෙන අවස්ථාවෙදි, හරක ඉන්නෙ ඊට සහභාගී වෙන්න බැරි තරම් දුරක නිසා මේ කෙටි සටහන ලියන්න හිතුනා.

"REALITY" කෘතියෙ තියෙන්නෙ නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය විසින් නිෂ්පාදනය කරපු "REALITY" , "සීගිරි කාශ්‍යප" , "තුන් මාසෙ දානෙටවත්" යන කෙටි නාට්‍ය තුනේ පිටපත් සහ ඒ නාට්‍ය වෙනුවෙන් පලවූ විචාරයි.

හරකට චන්ද්‍රා අයියව(නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය) මුණගැහෙන්නෙ 2007දි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේදියි. මුලින්ම හරකව නාට්ටියක රඟපාන්න ගත්තෙ ඔහුයි. ඒ, ඔහු විසින් නිෂපාදනය කල "240'240 සිට..." නාට්‍යයටයි. ("දෙසිය හතලිහයි දෙසිය හතලිහේ සිට.."  ; මෙය Harold Pinter 'ගේ "Victoria Station" නම් නාට්‍යයේ පරිවර්තනයකි. පරිවර්තනය කලේ ජූඩ් රොයිස්ටන්) මේ නිසා හිතේ කොනක ඉතුරුවුන පහන් හැඟීම තමයි, පසුව කෙරුනු චන්ද්‍රාදිත්‍යගේ හැම නාට්‍යකටම හැකි පමණින් උදව් කිරීමට හරකව පොලඹවන්නෙ. එය කෙනෙකුට අනුව සත්ගුණවත් ක්‍රියාවක් වෙන්න පුලුවං. තව කෙනෙකුට අනුව දෙකයි'පනහෙ මෝඩ වැඩක් වෙන්නත් පුලුවං. චන්ද්‍රාදිත්‍යගේ සමහර මතවාදී අදහස් එක්ක හරකා එකඟ නෑ. සමහර පුද්ගලික ගතිගුණ හරකට දිරවන්නෙත් නෑ. නමුත් ඒවා කලා නිර්මාණයකදි බාධාවක් වෙන්නෙ නැත්තං ඊට දායක නොවීම, තවදුරටත් චන්ද්‍රාදිත්‍යගේ ගැටලුවක් නොව තම තමන්ගේ අභ්‍යන්තර ගැටලුවක් කියලයි හරකට කියන්න වෙන්නෙ.
මේ.., හරකාගේ අත්දැකීමයි.

නේරන්ජන් චන්ද්‍රාදිත්‍ය යනු නාට්‍ය ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන චරිතයක් නෙමෙයි. ඊට හේතු විමසුවොත්, අහවල්'අහවල් සිද්ධි නිසා කියලා පිළිතුරු ලැබේවි. නමුත්, ඇත්තම කාරණය නම් ඔහුගේ කියවිල්ල අනෙකාට දරාගත නොහැකි වීමයි. නමුත් ඒ අකමැත්ත පිට වෙන්නේ වෙන වෙන ආකාර වලින්. කෙනෙකුට වචන 10කින් කියල'දාන්න පුලුවං දෙයක් කියන්න වචන 500-600ක් පමණ අවශ්‍ය වෙන කෙනෙක් ගැන හිතලා බැලුවොත් තේරෙනවා ඒක හෙනම'කට්ටක් කියලා. හරකත් චන්ද්‍රා අයියා එක්ක මේ අවුල ගැන ඉතාම විවෘතව කතා කරල තියෙනව,. ඔහුටත් තමන්ගේ කතාව තව කෙනෙක්ට දරාගන්න බැරි තරම් දිග වැඩි බව තේරුණත් කතා බහ කරන වෙලාවට එය පාලනය කරගැනීමට ඔහු අසමත්. මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයයි, ඒක' පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නෙ කොහොමද කියන එකයි විද්‍යාත්මක පසුබිමක් ඇතුලෙ තේරුම් ගත්තු කෙනෙකුට නං මේ අවුල "පුද්ගල ස්වභාවයක්" බව තේරුම් ගන්න පුලුවං. චන්ද්‍රාදිත්‍ය යනු දු‍ටු විට ප්‍රිය උපදවන පෙනුමක් ඇති කෙනෙක් නෙමෙයි. ඉතිං ඒකටම ලොකු කියවිල්ලකුත් එකතු උනහම තව කෙනෙකුට දරා ගන්න බැරි එක / ප්‍රතික්ෂේපිත හැඟීමක් ඇති වීම සාධාරණයි. නමුත්, ඒ අයගෙන් හරකාට අහන්න තියෙන්නේ
"තොපි ඔක්කොම සර්ව සම්පූර්ණද ??? " කියලයි.
මේ..,
තවත් කෙනෙකුගේ වෙනස දරාගැනීමට ඇති නොහැකියාවයි.
අපි ඕනම කෙනෙක්, තවත් කෙනෙකුගේ වැ‍රැද්දක් හෝ අඩුපාඩුවක් ගැන කතාබහ කිරීම'(අදාල කෙනා ඉඳිද්දී හෝ නැති තැන) වැරදියි කියලා හරක හිතන්නෙ නෑ. හැබැයි තවත්'කෙනෙකු තමන් අකමැති පුද්ගලයෙක් වීම නිසාම, ඔහුගේ සියලු කටයුතු පාච්චල් කොට අදහස් දැරීම සහ වෙනත් අයටත් ඒ අදහස් පැතිරවීම ඉතාම පහත්, අමන, තුච්ඡ ක්‍රියාවක්. කොහොමත් කලාව විතරක් නෙමෙයි, කොයි'දේකදි උනත් ඒක ලංකාවෙ වැඩි දෙනෙකුගෙ ගතිය..

මේ වගේ ප්‍රතික්ෂේපිත පසුබිමක නාට්‍ය කිරීම'ම හරකාට අනුව නම් ඉතා අගය කල යුතු කාරණයක්. අද දින "REALITY" කෘතිය එලිදැක්වීමේ උත්සවයටද, ආරධනා කරන ලද අය අතරින් පැමිණෙන්නේ ඉතාම අල්ප පිරිසක් බව හරක දන්නව. ඒ "මිනිස්කම, මිනිස්කමට එහා ගිය මානයකින්" දකින ලංකාවේ සත්ගුණවත් කලාකරුවාගේ ස්වභාවයයි.

චන්ද්‍රාදිත්‍ය'ගේ "REALITY" සහ "සීගිරි කාශ්‍යප" යන නාට්‍ය 2 හැරුනු විට ඉතිරි නාට්‍ය අසාර්ථක වුනා. ඔහුගේ නාට්‍ය සඳහා හැමදාමත් ආධුනික නළු'නිළියන් පමණක් යොදා ගැනීමට සිදු වෙන්නේ, බැලූ'බැල්මට ඔහුගේ වැරදි යයි හැ‍ඟෙන' නමුත් අනෙකාගේ කුහක කම නිසයි. ඉතා බර'සාර ගැඹුරු චරිත නිරූපණයක් ආධුනික නළුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අධ්‍යක්ෂණයේ හෝ පිටපතේ හෝ රංග'වින්‍යාසය ආදී අනෙකුත් කරුණු ඉතා හොඳින් සැපිරෙද්දී ආධුනික නළු'නිළියන් යොදාගැනීම නිසාම අසාර්ථක වුනු නාට්‍ය හරකා විසින් දැක ඇත්නම්, ඒ චන්ද්‍රාදිත්‍ය'ගේ නාට්‍ය'යි. (සමාවෙන්න , මෙය ලියන හරකා'ද මහලොකු නළුවෙක් නොවන අතර මේ ආධුනික නළු'නිළියන්ට සමච්චල් කිරීමක් නෙමෙයි)

අද එලිදකින "REALITY" කෘතියට අදාලව, "REALITY" කෙටි නාට්‍ය ගැන, හරකාට වැඩි යමක් කියන්න පුලුවං. අපි මේ නාට්ටිය පටං ගත්තෙ, එහි එන චරිත 8 සඳහා නළුවන් පුහුණු කිරීමට වැඩමුලුවක් පවත්වා අවසානයේ නළුවරණයක් මගින් නළු'නිළියන් ‍තෝරාගෙනයි. හරක මේ නාට්ටියෙ රඟපාපු "කුසල්"ගේ චරිතයට නළුවරණයෙදියි, පස්සෙ ගොඩක් කාලයක් යනකනුයි සුදුස්සෙක් සොයාගන්න බැරි'උනා. අන්තිමට හරකා "කුසල්"ව බාරගත්තා... ඇත්තටම නළුවෙක් නැති'උනේ ඊට සුදුසු අය නැති නිසා නෙමෙයි. හරකා කලිනුත් කියපු, පුද්ගල ස්වභාවයක් දරාගත නොහැකි, අනෙකාගෙ වෙනස ඉවසාගත නොහැකි පිරිසක් නළු'නිළියන් වී සිටින නිසයි...
චන්ද්‍රා'අයියටයි හරකටයි ඒ'කාලය පුරාම නළු'නිළියෝ හිඟාකන්න සිද්ධ'උනා REALITY වෙනුවෙන්..
යම් ස්ථාවරයකට ඇවිත් ඉන්න සමහර නළුවන්ට පිටපත දුන්නම, ඒක ප්‍රතික්ෂේප කලේ චරිත 8ක් කෙටි නාට්‍යක් සඳහා යොදාගැනීම ඉතා මෝඩ බවත්, එය කිසිදා සාර්ථක නොවන බවටත් මහා දාර්ශනික උදාහරණ'ද ඉදිරිපත් කරමිනුයි. එවැනි සිද්ධි වලිං අපට පසක් වුනේ නම් ඔවුන් කෙටි නාට්‍ය, කලාවක් ලෙස ලෝකයේ ලබා ඇති දියුණුව ගැන කිසිවක් නොදන්නා බැටලුහම් පොරවාගෙන පොර ටෝක්ස් පමණක් දෙන අය බවයි. බොහෝ අය චරිත හැර ගියේ වෙන වෙන අයගේ කතා ඇසීමෙන්. "චේතනා" යන චරිතයට නිළියන් 17ක් ඇතුලුව චරිත 8 සඳහාම පුහුණුවීම වලට පැමිණ චරිතය අතෑරලා ගියපු නළු'නිළි ප්‍රමාණය 39 දෙනෙක් බව සමහරවිට මෙය කියවන ඔබ කවුරුවත් පිළිගන්න එකක් නෑ. කොහොම'නමුත් දක්ෂයෝ නොවුනට එකා'වන් හැඟීමකින් වැඩ කරන්න පුලුවං පිරිසක් අන්තිමට ඉතුරු'උනා. ඒ හැමෝගෙම මහන්සියෙ ඵලයක් විදිහට REALITY නාට්‍යය ඉතාම සාර්ථක වුනා. රට පුරා දර්ශණ වාර 60ක් පමණ පෙන්වන්නත් පුලුවං වුනා.(මේ වන විට ලංකාව තුල කෙටි නාට්‍යක් දර්ශණ 25ක් 30කට වඩා පෙන්වන්න හැකිවීම'ම ඉතා දුලබ කරුණකි) ඒ'වගෙම REALITY ජාතික නාට්‍ය උළෙල හා යොවුන් නාට්‍ය උළෙල ඇතුලු නාට්‍ය උළෙල 5කදී බොහෝ ඇගයීම් වලට පාත්‍ර වුනා.

REALITY සමඟ ගතකරපු කාලෙ ගැන ආපහු කල්පනා කරද්දි හරකට දැනෙන්නෙ ලොකු සතුටක්. ඒක හරකගෙ ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතු කරා වගේම, ඒ කාලය තුල හදාරමින් සිටි ගොඩක් දේවල් වඩා පුලුල්ව හොයල බලලා ඉගෙන ගන්නත් හරකා පෙලඹුනා.

ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් අද එලිදකින "REALITY" කෘතියෙ එන, REALITY නාට්‍යයේ පිටපතත්, "සීගිරි කාශ්‍යප" හා "තුන් මාසෙ දානෙටවත්" යන නාට්‍ය වල පිටපතුත්, නාට්‍ය අධ්‍යයනය කරන කෙනෙකුට ඉතා ගැඹුරින් සාකච්ඡා කරන්න පුලුවං සහ අධ්‍යයනයේදී බොහෝ දේ පරිශීලනය කරන්න සිදුවෙන පිටපත් 3ක්...  ඒවගේම පුද්ගලික අමනාපකම් වැනි කණ්නාඩි දාගෙන මේ පොත කියවිය යුතු නැති බව, විශේෂයෙන් කියන්න ඕනෙ...

***
REALITY නාට්‍යයට අදාල සියළු දේ සඳහා, කිසිම පැකිලීමකින් තොරව බරපැන දැරූ දමිත් විතාරණ මහතාට REALITY නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් හරකා ස්තූතිවන්ත වෙනවා...

ප.ලි.



Casting Workshop for 'REALITY' short play (2011.3.2 to 2011.5.15)

13 comments:

  1. මෙවැනි දේ කෙරෙහි යොමු වන සියල්ලටම අපගේ ස්තුතියද හිමිවිය යුතුය.. ස්තුතියි හරකා

    ReplyDelete
  2. මේ නාට්‍ය ශිල්පියා ගැනවත්, මේ කියන කෙටි නාට්‍යය ගැනවත් අවබෝධයක් නැති උණත් ‍මේ ලිපියේ කියවෙන මනුෂ්‍යත්වය සම්බන්ධ කාරණා නම් හරිම වැදගත්... සමහර වෙලාවට අපි මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන්නෙ මොන තරම් නොවැදගත් කාරාණා සම්බන්ධයෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපෙ මිනිස්සුන්ගෙ සමහර දෙවල් ප්‍රතික්ෂේප කරන්න හදාගන්න හේතු මහ පුදුමාකාරයි. සිද්දියයි හේතුවයි අතරෙ සහසම්බන්දයක් හොයාගන්නම බෑ...
      මම දන්න ආන්ටි කෙනෙක් ඉන්නවා. ඉස්සර ආසවෙන් ක්‍රිකට් මැච් බලනවලු. හැබැයි කාලෙකට කලිං ක්‍රිකට් මැච් බලන එක සම්පූර්ණයෙන් නවත්තලා...
      හේතුව - කාලෙකට කලිං අර්ජුණ රණතුංගගේ බිරිඳ ක්‍රිකට් ගහමින් සිටි ළමයි කට්ටියකට ගහල එලවගත්තා කියලා tv එකේ ගිය news එකක්.
      :) :) :)

      Delete
  3. මරු මරු.. මටත් Reality කවදාවත් අමතක වෙන් නෑ.. උඹට ජය..

    ReplyDelete
  4. බලමු ගොඩගේ එක පැත්තේ ගියොත් පොත හොයලා බලන්නං

    ReplyDelete
  5. මෙවන් වැඩවලට අත හිතදෙන අයට තමයි ගරු කරන්න ඕන. උඹ මේ ලියන 11 වෙනිදා නන් මගේ මල්ලිගේ පොතකුත් දොරට වැඩියා ඔතනම.

    ReplyDelete
    Replies
    1. එහෙම උනේ කොහොමද අරූ..?
      එක්කො මල්ලිගෙ පොත එලිදැක්වුනේ "පුස්තකාල ප්‍රලේඛණ හා සේවා මණඩල ශ්‍රවණාගාරෙ" වෙන්න ඇති. මොකද අපි හැමොටම වගේ එතනයි, "ජාතික පුස්තකාල ශ්‍රවණාගාරෙ"යි පැටලෙනවා.

      Delete
    2. ඒකනේ කියන්නේ මගේ හරක් කමනේ......ප්‍රලේඛණේ තමයි.....ඔය තැන් දෙක ,දෙපොලකද තියෙන්නේ?

      Delete
    3. හරක් කම නෙමෙයි අරූ... ඕක අපි කාතත් පැටලෙනවා...
      ප්‍රලේඛණේ තියෙන්නෙ ජාතික පුස්තකාලෙ (අර නිදහස් චතුරස්‍රෙ ලඟ තියෙන පොත් ගෙදර ගෙනියන්න දෙන්නෙ නැති එක)
      මහජන පුස්තකාලෙ කියන්නෙ අපි "පබ්ලික් ලයිබ්‍රිය" කියලා කියන ටවුන්හෝල් එකේ තියෙන තැන...

      Delete